health latest articles life

නිවසේදී සීනි පාලනය කර ගන්න පුළුවන් සරල​ ක්‍රම 5ක්

දියවැඩියාව කියන්නේ බොහොම දරුණු ප්‍රථිපල ගෙන දෙන්න පුළුවන් රෝගයක්. ලොව පුරා බෝ නොවන රෝග අතරින් උඩින්ම තියෙන්නේ දියවැඩියාව රෝගයයි. දියවැඩියාව හැදුනට පස්සේ බෙහෙත් බොනවට වඩා හදා ගන්නේ නැතුව ඉන්න එකයි වඩාත් වැදගත් වෙන්නේ. ඉතින් මේ  දියවැඩියා රෝගයෙන් ඈත් වෙලා ඉන්න අනුගමනය කරන්න පුළුවන් ක්‍රම 5ක් ගැන තමයි මේ ලිපියෙන් කියන්න යන්නේ.

1.කඩ කෑමෙන් ඈත් වෙමු

බොහෝ දෙනා ලේසිය හා පහසුව නිසා කඩ කෑම ආහාරයට ගන්න පුරුදු වී සිටිනවා.  නමුත් මේ කඩ කෑම කියන්නේ අදික ලෙස තෙල්, පිටි හා විවිධ රසකාරක වර්ග යොදපු කිසිම ගුණයක් නැති ආහාරයි. මේ වගේ කෑම නිසා දියවැඩියාව කියන බෝ නොවන රෝගයට බොහොම ඉක්මනට ලක්වෙනවා. ඒ නිසා කඩෙන් ගේන තෙල් අධික ෆ්‍රයිඩ් රයිස් වෙනුවට එළවළු, බිත්තර දාලා ගෙදරම ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්න. පාන් පිටි ආහාර වෙනුවට ආටා පිටි හෝ සහල් පිටි ආහාර වඩා සුදුසුයි.

2.පොඩි බඩගින්නට පලතුරු ආහාරයට ගන්න​

ප්‍රධාන ආහාර වේල් දෙකක් අතරමැද එන පොඩි බඩගින්නට ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්නේ පැණි රස කෑමක් හෝ කේක් වර්ග, රෝල්ස්, පැටිස් වගේ පිටි කෑමක් හරි කන්න. ඒත් මේ කෑම වර්ග දීර්ඝ කාලයක්  ආහාරයට ගැනීමෙන් දියවැඩියාව හැඳීම වළක්වන්න බැහැ. ඉතින් පොඩි බඩගින්නට මේ කෑම වර්ග වෙනුවට නැවුම් පළතුරු, රටකජු, ආමන්ඩ් වගේ ඇට වර්ග, යෝගට් වගේ දේවල් ආහාරයට ගන්න.

3.නිතරම ඇවිදන්න

දියවැඩියාවෙන් තොර නීරෝගී ජීවිතයක් පවත්වාගෙන යන්න ව්‍යායාම අත්‍යාවශ්‍යයි. ඒ අතරින් ඇවිඳීම කියන්නේ හොඳම ව්‍යායාමයක්. ළඟ කඩේට, පොළට, පාසලට යන පොඩි දුර ඇවිදගෙන යන්න පුළුවන් නම් දියවැඩියාව වගේ බෝ නොවන රෝග ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම කාර්‍යාලයෙදී වුනත් විදුලි සෝපානය වෙනුවට පඩිපෙළ භාවිත කරන්න. නිවෙස පිරිසුදු කිරීම්, ගෙවතු වැඩ වැනි ක්‍රියාකාරකම්වල නිරත වීමත් වඩා සුදුසුයි.

4.එළවළු සහ පළතුරු සඳහා ප්‍රමුඛත්වය දෙන්න​

දියවැඩියාවට මූලිකම හේතුව වැරදි ආහාර රටාවයි. ඒ සඳහා තෙල්, පිටි, සීනි, අඩංගු ආහාර වගේම අධික පිෂ්ඨය සහිත ග්ලූකෝස් මට්ටම වැඩි පැණි රස ආහාරත් දිනපතා ලබා ගැනීම මූලිකවම බලපානවා. පිශ්ඨය අඩංගු ආහාර වෙනුවට කෑම වේලට වැඩිපුර එළවළු, ප්‍රෝටීන් අඩංගු ආහාර, පළතුරු වගේ ශරීරයට වඩාත් ගුණදායී ආහාර වට්ටෝරු පිළියෙල කරන්න පුළුවන් නම් දියවැඩියාවෙන් බේරිලා ඉන්න පුළුවන්.

5.නියම වේලාවට නියම ප්‍රමාණය ගන්න

බොහෝ දෙනා ගෙදර දොරේ වැඩකටයුතු, දරුවන්ගේ වැඩකටයුතු හා රැකියාවේ වැඩකටයුතු එක්ක කාර්‍යබහුල නිසාම ආහාර වේල් මගහරින්න පුරුදු වෙලා ඉන්නවා. මෙලෙස බොහෝ විට මඟහැර ගන්නේ උදෑසන ආහාර වේලයි. නියමිත ආහාර වේල මඟහැරුනම අධික කුසගින්නකින් තමයි ආහාර ගන්න පටන් ගන්නේ. මෙන්න මේ අධික කුසගින්න නිසා ආහාර විශාල ප්‍රමාණයක් නොදැනීම ආහාරයට ගැනෙනවා. දිනපතා මේ විදිහට කුසගින්නේ සිට අධික ලෙස ආහාර ගැනීමත් දියවැඩියාව වැළදෙන්න හේතු වෙනවා. ඒ නිසා අධිකව කුසගින්න ඇති වෙන්න කලින් නියමිත ආහාර වේල් හරි වෙලාවට ගන්න.