health latest articles life

ඔසප් වේදනාව සමනය කර ගැනීමට සරල​ ක්‍රම 5ක්

මාසික ඔසප් වේදනාව කියන්නේ සෑම කාන්තාවක් අනිවාර්‍යයෙන්ම මුහුණ දෙන තත්ත්වයක්. ඒ වගේම මෙම තත්වය කාන්තාවකගේ නිරෝගි බව සංකේතවත් කරන කැඩපතක් ලෙසද හැඳින්විය හැකියි. ඔසප්වීම දින 28 කට 30 කට වරක් සිදුවීමත් සාමාන්‍යයෙන් දින තුනක් අපහසුවකින් තොරව රුධිරය පිටවීමත් සාමාන්‍ය සිද්ධියකි. නමුත් බොහෝ කාන්තාවන් ඔසප් වේදනාව නිසා කායිකව හා මානසිකව පීඩාවට පත්වන බව දකින්නට ලැබෙනවා. සමහර කාන්තාවන්ට මෙම තත්ත්වය අධික වේදනාවක් ගෙන දුන්නත් ඇතැම් කාන්තාවන්ට මෙය එතරම් තියුණු වේදනාවක් ගෙන දෙන්නේ නැහැ. ඉතින් මෙලෙස වේදනාවක් ඇති වන්නේ ගර්භාෂය එහි අභ්‍යන්තර ස්තරය වැගිරීමට සහ රුධිර ප්‍රවාහයට උපකාර කිරීමට හැකිලීම හේතුවෙනි. කෙසේ වෙතත් මෙම වේදනාව අඩු කර ගැනිමට ඔබට විවිධ උපක්‍රම භාවිතා කළ හැකිය. අද අපි ඔබට කියන්නේ ඒ පිළිබඳවයි.

1.වේදනා නාශක භාවිතාය​

වේදනා නාශක මගින් ඔසප් වේදනාව ඉක්මනින් අඩු කර ගත හැකි අතර මේ සඳහා nonsteroidal anti-inflammatory කාණ්ඩයේ ඖෂධ භාවිතා කළ හැකියි. මෙහි විවිධ වර්ගයේ නිෂ්පාදන තිබෙන නිසා මේ සඳහා වෛද්‍ය නිර්දේශයක් ලබා ගත යුතුයි. වේදනාව ආරම්භ වන බව ඔබට හැඟුණු විට ඖෂධ ගැනීම ආරම්භ කිරීමෙන් වේදනාව සමනය කරගත හැකියි.

2.උණුසුම් ජලයෙන් ස්නානය

මෙය ඔබගේ උදරයේ පහළ කොටසට තාපය යෙදිය හැකි එක් ක්‍රමයක්. මෙහිදී උණුසුම් ජලයෙන් ස්නානය කිරීම සිදු කරන්න. ඔබට දැනෙන වේදනාව සමනය කර ගැනීමට මෙය ඔබට බොහෝ උපකාරි වේවි.

3.තාපන පෑඩ් භාවිතය​

තාපන පෑඩ් එහෙමත් නැත්නම් heating pads භාවිතා කිරීම ඔසප් වේදනාව සමනය කිරීම සඳහා භාවිතා කළ හැකි ඉතා ඵලදායී ක්‍රමයක්. තාපන පෑඩ් හෝ ඒ වෙනුවට උණුසුම් වතුර බෝතලයක් ඔබේ උදරයේ පහළින් තබන්න. ඔබේ වේදනාව අඩුවන තෙක් මිනිත්තු 10 සිට 20 දක්වා කාලයක් ඒ ආකාරයෙන්ම තබා ගන්න.

4.ආහාර අතිරේක භාවිතය

අපේ ශරිරයට අත්‍යවශ්‍ය වන විටමින් වර්ග භාවිතා කිරීම තුළින් කාලයත් සමඟ ඔසප් වේදනාව අඩු කිරීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා වෛද්‍ය උපදෙස් මත විටමින් E, ඔමේගා-3 මේද අම්ල, විටමින් B-1, විටමින් B-6 හෝ මැග්නීසියම් අතිරේක ලබා ගන්න ඔබට පුළුවන්.

5.දැවිල්ලට එරෙහිව සටන් කරන ආහාර අනුභවය​

ඔසප් වේදනාව අඩු කර ගැනීම සඳහා ඔබේ දෛනික ආහාර වේලට සත්ව මේද හා තෙල් ප්‍රමාණය සීමා කර වැඩිපුර පලතුරු, එළවළු, සම්පූර්ණ ධාන්‍ය, රනිල කුලයට අයත් බෝග, ඇට වර්ග සහ බීජ එකතු කිරීමට උත්සාහ කිරීමෙන් ඔබේ ශරිරයේ දැවිල්ල අඩු කිරිමට හැකියාව ලැබෙනවා. එසේම සුදු පාන්, පිරිපහදු කළ ධාන්‍ය වර්ග පරිභෝජනය හැක්තාක් සීමා කිරීමට උත්සාහ කරන්න. අඩු දැවිල්ල, අඩු ඔසප් වේදනාව සමඟ සම්භන්ධ වේ.