health latest articles life

මුඛයෙන් එන දුර්ගන්ධය නැති කිරීමට සාර්ථක​ ක්‍රම 5ක්

බොහෝ දෙනා කටේ දුගඳ නිසා පීඩා විඳිනවා. ඒකට හේතුව තමයි කටේ ගඳ නිසා පිරිසක් ඉදිරියේ ගොඩක් අපහසුතාවයට පත්වීම. මේක හරිම අප්‍රසන්න සිදුවීමක් වුණත් මෙයට පිළියමක් යෙදීමෙන් එය වළක්වා ගන්න පුලුවන්. අපි ගන්න ආහාර වල පොඩි වෙනස්කම් ටිකක් කිරීමෙන් හෝ අපේ සාමාන්‍ය දෛනික පුරුදු වෙනස් කර ගැනීමෙන් කටේ ගඳ ඇති වීම පාලනය කරන්න හැකි වෙනවා. ඒ නිසා මුඛයෙන් දුර්ගන්ධය නැති කරලා බය නැතුව ලස්සනට හිනා වෙන්න කැමති අයට මේ ලිපිය ගොඩාක් වැදගත් වෙයි. දැන් අපි බලමු ඒ සඳහා කරන්න තියෙන්නෙ මොනවද කියලා.

1.ඉඟුරු ලෙමන් තේ පානය

ඉඟුරු ඔබේ ආහාර වේලට එකතු කර ගැනීමෙන් බඩේ අමාරුවකට ප්‍රතිකාර කරන්න පුලුවන්. ඒ වගේම මුඛයෙ දුර්ගන්ධය නැති කරන්නත් ඉඟුරු උදව් වෙනවා. ඔබ තේ බොන්න කැමති නැත්නම් මේ පානයෙන් කට සෝදන්න. ඉඟුරු මගින් දුර්ගන්ධය නැති කරන අතර ලෙමන් වල තියන සිට්‍රික් අම්ලය බැක්ටීරියා වර්ධනය වීමට බාධා කරනවා.

2.ග්‍රීන් ටී පානය​

ග්‍රීන් ටී පානයෙන් සෞඛ්‍යමය වාසි ගොඩාක් ලැබෙනවා. එනම් ග්‍රීන් ටී වලට මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සහ ඇතැම් පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීමේ හැකියාවත් තියෙනවා. ග්‍රීන්ටී මගින් ශරීරයේ දුගඳ අඩු කරනවා. ඒ වගේම ග්‍රීන් ටී වල ස්වාභාවික ප්‍රතිඔක්සිකාරකයක් වන කැටෙචින් අඩංගු වන අතර එය මුඛයේ ඇති බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීමට උපකාරී වෙනවා.

3.හොඳින් ජලය පානය කරන්න

හැමවිටම මුඛය ඇතුළ තෙත්ව තබා ගැනීමෙන් කටේ ඉතිරි වුණු ආහාර කොටස් සහ මැරුණු සෛල ඉවත් වෙනවා. එමගින් මුඛයේ බැක්ටීරියා වර්ධනය වැළැක්වීමට උපකාරී වෙනවා. එමෙන්ම තවත් බොහෝ පරිවෘත්තීය ක්‍රියාවලි සඳහා පානීය ජලය අත්‍යවශ්‍ය නිසා නිතරම වතුර බොන්න අමතක කරන්න එපා.

4.පැඟිරි පලතුරු වැඩිපුර ආහාරයට ගන්න​

පැඟිරි කුලයේ පලතුරු වල තියෙන සිට්‍රික් අම්ලය මගින් මුඛයෙ හා ආහාර ජීර්ණ පද්ධතියේ බැක්ටීරියා වර්ධනයට බාධා ඇති කරනවා. පැඟිරි මගින් මුඛයෙ දුර්ගන්ධය ඇති කරන බැක්ටීරියා විනාශ වෙන නිසා දුගඳක් ඇතිවෙන්නෙත් නෑ.

5.යෝගට් ආහාරයට ගන්න​

යෝගට් වල අඩංගු හොඳ බැක්ටීරියා ආහාර ජීර්ණයට උපකාරී වෙනවා. එමගින් ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගීව තබා ගන්නා අතර මුඛයෙන් දුර්ගන්ධය ඇති වීමේ අවදානම අඩු කරනවා. මුඛයේ සල්ෆයිට් සංයෝග එකතු වීම මගිනුත් මුඛයෙන් දුර්ගන්ධය ඇති වෙනවා. ප්‍රෝබියොටික් වල අඩංගු හොඳ බැක්ටීරියා මගින් මුඛයේ ඇති සල්ෆයිට් සංයෝග මට්ටම අඩු කරනවා. ඒත් යෝගට් මිලදී ගැනීමේදී සීනි එකතු කළ යෝගට් තෝරගන්න එපා.