latest articles life

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ගැන ඔබ දැනගත යුතුම​ කරුණු 5ක්

කාන්තාවකට විඳින්න සිදු වෙන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය එහෙමත් නැත්නම් ගැහැණියකට තම සැමියාගෙන් ගුටිකන්න සිද්ධ වෙන එක  කියන්නේ නීතිය පැත්තෙනුත්, සමාජ සදාචාරය පැත්තෙනුත් වැරදි දෙයක්. පහුගිය ඇඳිරි නීතිය කාලයේ මේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව ක්‍රියා ඉහළ ගොස් තිබුනා. අද සමාජේ සාමාන්‍යකරණය වෙලා තියෙන මේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා කාන්තාවන් විශාල ප්‍රමාණයක් දුක්ඛිත ජීවිත ගත කරනවා. ඒ නිසා තමයි මේ ගැන අපි වැඩිදුර කථා කළ යුතුයි කියලා හිතුවේ.

1.ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යනු කුමක්ද​?

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කියන්නේ කාන්තාවකට සැමියා විසින් සිදුකරන ශාරීරික හෝ මානසික ප්‍රචණ්ඩ ක්‍රියාවක් වගේම ගෘහාශ්‍රිතව වැඩිහිටි පුද්ගලයින්ට වගේම දරුවන්ටත් සිද්ධ වෙන ප්‍රචණ්ඩ ක්‍රියාත් මෙයට ඇතුළත් වෙනවා.  හැබැයි අද අපේ මාතෘකාව වෙන්නේ විවාහක හෝ විවාහක නොවෙන කාන්තාවකට තමන්ගේ සහකරුවා විසින් සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියාවන් ගැනයි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට කායික වගේම මානසික හිරිහැරත් ඇතුළත් වුනත් මෙතනදී අපි වඩාත් සෘජු ප්‍රචණ්ඩ ක්‍රියාවක් විදියට කායික පහර දීම් සලකනවා.

2.පිරිමියෙක්ට ඒ සඳහා අයිතියක් තියෙනවද?

පිරිමියෙක්ට තමන් විවාහ වෙලා ඉන්න හරි එකට ජීවත් වෙන හරි කාන්තාවකට පහර දෙන්න කිසිම අයිතියක් නැහැ. යුද්ධයක් හෝ ආත්මාරක්‍ෂාව සම්බන්ධ කරුණකදී හැරෙන්න කිසිම මනුස්සයෙක්ට තවත් මනුස්සයෙක්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදාහරින්න අයිතියක් නැහැ. විශේෂයෙන්ම තම විවාහක බිරිඳට පහර දීමට තමන්ට අයිතියක් තියෙනවා කියලා කෙනෙක් අදහස් කරනවා නම් හෝ ඒ හැඟීම් වලට අනුව ක්‍රියා කරනවා නම් ඒක බොහොම භයානකයි.

3.මෙය කාන්තාවන්ට උරුම දේවල්ද?

දුක් විඳින එක වගේම පිරිමින්ගෙන් ගුටි කන එක ගැහැණුන්ට උරුම දෙයක් විදියට සැළකීම හා  පිරිමින්ගෙන් ගුටි කෑවත් කමක් නැහැ කියලා අදහස ජනගත කිරීම ඉතාම වැරදි අදහසක්. ඒ නිසා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කරන පිරිමින් වගේම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වට අනුබල දෙන ආකාරයේ දේවල් ප්‍රසිද්ධියට පත් කරන ගැහැණුන්ටත්  විරුද්ධ විය යුතුයි.

4.කොතරම් කලක් ඉවසිය යුතුද​?

තමන්ට අත උස්සන පිරිමියෙක්ට ආදරේ නාමයෙන් දෙතුන් තුන්පාරක් සමාව දෙන්න කියන එක ගැහැණු අය අතර තියෙන වැරදි කතාවක්. කේන්තියෙන් ඉන්නකොට කරන්නේ මොනවද කියලා තේරෙන්නෙ නැති නිසා ගහන පාරක් නරක තැනකට වැදිලා ඒකෙන් මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් සදාකල් ආබාධිත වෙන්න පුළුවන්. ඒ නිසා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වගේ කාරණාවකදී අවදානමක් අරගෙන ආදරේ නිසා එක පාරක් සමාව දෙන්න වගේ තීරණ නොගන්න ඉදීම වඩා හොඳයි.

5.නීතියෙන් මේ පිළිබඳ ගැනෙන ක්‍රියාමාර්ග මොනවද?

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කියන්නේ නීතියෙන් දඬුවම් ලැබෙන වරදක්. මුලින්ම කාන්තාවක් තමන් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට මුහුණ දෙන්න වෙනවා නම් ප්‍රදේශයේ පොලිසියට යන්න ඕන​. ඊට පස්සේ නීතිය ඔස්සේ තමන්ට සාධාරණයක් ඉෂ්ට කරගන්න නම් තමන් ගෘහස්ථ හිංසනයට මුහුණ දෙන්න වෙනවාය කියන එක තහවුරු කරන්න ඕන. නඩු විභාගයක් නිසි පරිදි පැවැත්වුනාට පසු තමන්ගේ ආරක්‍ෂාව සලසන ආරක්‍ෂක නියෝගයක් ලබාගන්න පුළුවන්. ඒ වගේම නඩු විභාගයට කලින් වුනත් කාන්තාවක් නැවත නැවත හිංසනයට පාත්‍ර වෙන එක නවත්තන්න අතුරු ආරක්‍ෂක නියෝගයක් වුනත් ලබාගන්න පුළුවන්. ඒකත් පොලිසිය හරහාම කරගන්න පුළුවන්. මේ සඳහා මුදල් ප්‍රශ්න තියේනම් නීති ආධාර කොමිසමෙන් ආධාර ලබාගන්නත් පුළුවන්.