beauty latest articles

ළඳරුවකුගේ වැනි මෘදු පාද යුගලයක් ලබා ගැනීමට භාවිත කරන්න පුළුවන් සරල අමුද්‍රව්‍ය 5ක්

ළඳරුවකුගේ වැනි මෘදු පාද තිබෙන අය ඇත්තේ ඉතා අතලොස්සක්. නමුත් එවැනි පාද යුගලයක් ලබා ගැනීමට ඕනෑම කෙනෙක් ආසා කරනවා. විවිධ හේතු නිසා ඔබේ පාද වියළී ආකර්ෂණීය නොවන තත්වයකට පත්වෙලා නම් එය මඟහරවා ගෙන ළඳරුවකුගේ වැනි මෘදු පාද යුවලක් ලබා ගැනීමට භාවිත කරන්න පුළුවන් නිවසේ ඇති සරල අමුද්‍රව්‍ය 05ක් තමයි අද අපි මේ ලිපියෙන් ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ.

මෙම අමුද්‍රව්‍ය භාවිත කරනවා වගේම ඔබේ පාද ලස්සනට හා මෘදුව පිරිසිදුව තබා ගන්න ඔබ එදිනෙදා කල යුතු පිළිවෙත් තියනවා. එනම්, ස්නානය කිරීමේදී ඔබේ පාද හොඳින් සෝදා මැරුණ සම ඉවත් කළ යුතු වෙනවා. ඒ වගේම හැමදාම මොයිස්චරයිසර් භාවිත කිරීමත් පුරුද්දක් කරගන්න. ඔබේ පාද පිරිසිදු කරගැනීමට ස්ක්‍රබ් භාවිතා කරන්න. මීපැණි, ලුණු, සීනි හෝ කෝපි වැනි ස්වාභාවික ස්ක්‍රබ් භාවිතා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම සති දෙකකට සැරයක්වත් පෙඩිකියෝ එකක් කරගන්න.

1. බේකිං සෝඩා

බේකිං සෝඩා ඔබේ පාදවල මැරුණ සම ඉවත් කිරීමට උපකාරී වෙනවා. බේකිං සෝඩා තේ හැඳි 03ක් සමඟ ජලය තේ හැඳි 01ක් මිශ්‍ර කර, පාදවලට ආලේප කර හොඳින් සම්බාහනය කර සිසිල් ජලයෙන් සොදා හරින්න. මෙමඟින් ඔබේ පාදවල මැරුණ සම ඉවත්වී පාදවලට නිරෝගී මෘදු පෙනුමක් ලබා දෙනවා.

2. ඔලිව් ඔයිල්

ඔලිව් ඔයිල් හොඳ ස්වාභාවික මොයිස්චරයිසරයක් ලෙස ක්‍රියා කරනවා. රාත්‍රි කාලයේදී ඔබේ පාදවලට ඔලිව් ඔයිල් ආලේප කර කපු මේස් යුගලයක් පැළඳ නින්දට යන්න. උදෑසන අනිවාර්යයෙන්ම හොඳින් සෝදා හරින්න. මෙම සත්කාරය රාත්‍රි කාලයේදී පමණක්ම සිදු කිරීමට වගබලා ගන්න. කපු මේස් යුගලයක් පළඳිනුයේ ඔලිව් ඔයිල් ආලේප කළ ස්ථානයට ආලෝකය වැටුණවිට එම ස්ථානයේ ඇති සම අවපැහැ ගැන්වෙන නිසයි. මෙම සත්කාරය රාත්‍රි කාලයේදී පමණක්ම සිදු කිරීමට උපදෙස් දුන්නෙත් ඒ නිසයි.

3. පිරිසිදු මීපැණි

මීපැණි වල ප්‍රතිබැක්ටීරීය හා ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති බව සොයාගෙන තියනවා. ඒ නිසා පිරිසිදු මීපැණි  වියළි සමක් මත ආලේප කළ විට, එම වියළි ප්‍රදේශය පිරිසිදු කර විෂබීජහරණය කර පසුව හානියට පත් වූ පටක නැවත ගොඩනැගීම සිදු කරනවා. ඒ සඳහා මීපැණි මඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරනවා. පිලිස්සුම් තුවාල සඳහාත්  පිරිසිදු මීපැණි ගැල්වීම කරනවා. ඒ වගේම මී පැණිවල ඇති  මොයිස්චරයිසර් ගුණය නිසා ඔබේ පාදවල වියළි ස්වාභාවය නැතිවී තෙතමනය ආරක්ෂා කර පාද ඉතාමත් මෘදු කරනවා . මේ සඳහා මී පැණි ස්ක්‍රබ් එකක් ලෙස භාවිත කර පසුව සිසිල් ජලයෙන් සෝදා හරින්න පුළුවන්.

4. කෝමාරිකා ජෙල්

මොයිස්චරයිසර් ගුණයෙන් යුතු කෝමාරිකා ජෙල්, ඔබේ පාදවල තෙතමනය ආරක්ෂා කර මෘදු හා සිනිඳු කරනවා. කෝමාරිකා මදය හෝ ඕනෑම කෝමාරිකා ජෙල් වර්ගයක්, එඩරු තෙල් තේ හැදි 2 ක් සහ විටමින් ඊ කරල් 2 ක් මිශ්‍ර කර මෙය සාදාගන්න පුළුවන්. නින්දට යාමට පෙර ඔබේ පාදවල කෝමාරිකා ජෙල් ආලේප කර හොඳින් සම්බාහනය කරන්න. උදෑසන සෝදා හරින්න.

5. කිරි

කිරි යනු සම පෝෂණය කර මෘදු හා සිනිඳු කළ හැකි ඉතා පෝෂණීය දෙයක්. අතීතයේ කාන්තාවන් කිරිවලින් ස්නානය කරලා තියනවා කියලා ඔබ අසා ඇති. ඒ වගේම අතීතයේ කාන්තාවන්‍ කිරිවලින් ස්නානය කිරීම ඔවුන්ගේ සුන්දරත්යට හේතුවූ බවත් ඔබ පොත පතෙන් කියවලා තියෙන්න ඕන. එමනිසා ළඳරුවකුගේ වැනි මෘදු පාද යුගලයක් ලබා ගැනීමට ඔබට පුළුවන් කිරිවලින් සාදාගත් ආලේපනයක් භාවිත කරන්න. කිරි කෝප්ප 2 කට බේකිං සෝඩා ස්වල්පයක් එක්කොට එය හොඳින් නටන තුරු උණු කර, මදක් නිවෙන්නට තබා ඔබේ පාදවල ගල්වා හොඳින් සම්බාහනය කර සිසිල් ජලයෙන් සෝදා හරින්න.