දෙමාපියන්ගේ ලෝකය තමයි තමන් ගේ දරුවන් කියන්නේ. තමන්ගේ දරුවෝ හොඳට උගන්නලා උසස් තැනකට යනවා දකින්න හැම අම්මා තාත්තා කෙනෙක්ම හීන දකිනවා. ඒ නිසා අද අපි හිතුවා අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් විදියට තමන්ගේ දරුවාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ඔබට මොනවාද කරන්න පුළුවන් කියන එක ගැන මේ ලිපියෙන් කතාකරන්න.
1.තරහ අරන් බනින්න එපා
බොහෝමයක් දෙමාපියන්ගේ අතින් සිද්ධ වෙන ලොකු වැරැද්දක් තමයි දරුවෙකුගේ අසමත් වීම් වලදී දරුවාට බනින එක. විභාගයකින් අසමත් වුණු වෙලාවට මේ දේ සුලභව සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවකදී දෙමාපියන් විදියට තරහ යන එක සාධාරණ වුනත් ළමයාගේ මානසිකත්වය ගැනත් හිතන්න ඕන. මොකද ඊළඟ වතාවේ විභාගයට මුහුණ දෙද්දි ගොඩක් බයෙන් තමයි දරුවා ඒකට මුහුණ දෙන්නේ. මේ වගේ අසමත් වීමකදී සියදිවි නසාගැනීම් වලට පවා ඔවුන් පෙළඹෙන්න පුළුවන්.
2.තමන්ගේ දරුවාවත් අනිත් දරුවන් එක්ක සංසන්දනය කරන්න එපා
ගොඩක් දෙමාපියන් උත්සහ කරන්නේ තමන් ගේ දරුවව පන්තියේ පළමුවැනියා කරන්න. හැබැයි ඒ උත්සාහය අසාර්ථක වුණොත් තමන්ගේ දරුවාව අනිත් දරුවන් එක්ක සංසන්දනය කරන්න පටන් ගන්නවා. ඔබ අතින් මෙය නොදැනුවත්ම වෙන්නත් පුළුවන්. ඒත් මේක ගොඩක් වැරදි දෙයක්. ඒ නිසා දරුවාව පළමුවැනියා කරන්නම උත්සාහ කිරීම නවත්වන්න.
3.දරුවාගේ ජයග්‍රහණයක් අගය කරන්න
ඔයාගේ දරුවා පුංචි ජයග්‍රහණයක් ලබා ගත්තත් ඒක අගය කරන්න පුරුදු වෙන්න. විභාගයකදී ලකුණු පනහක් ගත්තත් ෆේල් නොවුණු එක ගැන සතුටු වෙන්න එයාට උගන්නන්න. ඒ වගේම ඊළඟ විභාගයේදී ඊට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න දරුවාව දිරිමත් කරන්න. හැම මොහොතකම තමන් දක්ෂයි කියලා දරුවාට දැනෙන්න දෙන්න.
4.දරුවා එක්ක කතා කරන්න
ඔයාට පුළුවන් හැම වෙලාවකදීම දරුවා එක්ක කතා කරන්න. එයාගේ ඉගෙනීම් කටයුතු සම්බන්ධයෙන් එහෙම නැත්නම් දරුවාගේ වෙනත් පෞද්ගලික ප්‍රශ්න ගැන හෝ එදිනෙදා ජීවිතයේ ගැටළු ගැන කතාකරන්න. මේ වගේ පුංචි පුංචි කතාබහ වලින් ඔයාට පුළුවන් දරුවාව සතුටින් තියාගන්න වගේම ඉගෙනීම් සාර්ථක කරගන්න උපකාරී වෙන්න.
5.පුළුවන් තරම් දරුවන් එක්ක සතුටින් ඉන්න
රැකියාවේ කටයුතුත් එක්ක ඔයා ගොඩක් කාර්යබහුල අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වුණත් පුළුවන් හැම වෙලාවෙම දරුවන් එක්ක සතුටින් කාලය ගත කරන්න. ඔයාගේ දුක වගේම සතුට ඔවුන් එක්ක බෙදාගන්න. අනාගතයේ ඔවුන් දෙමාපියන් වෙන දවසක ජිවිතය සාර්ථකව ගත කරන හැටි ගැන ඔවුන්ට කියලා දෙන්න.