latest articles life relationship

ඔබේ ආදරය කවදාවත් වෙනස් නොවෙන බැඳීමක් කරගන්න උපදෙස් 5ක්

යුවලක් ආදරයෙන් බැඳෙන්නේ කොයිතරම් නම් බලාපොරොත්තු පොදි බැඳගෙනද? ඒ බලාපොරොත්තු එක්ක සාර්ථක යුගදිවියකට එළඹී දිවි ඇති තෙක් ලඟින් රැදෙන ආදර කතා තියෙන්නේ බොහොම අතලොස්සයි. හුඟක් ආදර කතා කාලයත් එක්කම බිඳී යන්නේ හිතාගන්නවත් බැරි විදියටයි. ඒ වගේමයි විවාහයෙන් වෙන් වෙන ආදර අන්දරත් අද සමාජයේ ඕනෑ තරම්. මෙන්න මේ නිසා අද අප ඔබ වෙත ගෙන එන්නට සුදානම් වෙන්නේ ඔබේ ආදරය කවදාවත් වෙනස් නොවෙන බැඳීමක් කරගන්න පුළුවන් උපදෙස් 5ක් පිළිබඳවයි.

1.අනෙකා විශ්වාස කිරීම

ආදරයට අහිතකරම සාධකයක් තමයි අවිශ්වාසය සහ සැකය කියන්නේ. ඇතැම් පෙම්වතුන් අනෙකාට කිසිම නිදහසක් නොදී වැටකොටු දමා තබා ගැනීමට කටයුතු කරන්නේ අනෙකා ගැන විශ්වාසයක් නැති නිසයි. ඔවුන් හිතනවා තමන් අනෙකාව ආරක්ෂා කරනවා කියලා. නමුත් එය ඔහුට හෝ ඇයට දැනෙන්නේ විශාල කරදරයක් ලෙසයි. ප්‍රේමය ඇරඹු මුල් කාලයේ ඔබ වෙනුවෙන්ම කාලය කැප කලත් ඔවුන්ට හැමදාම එහෙම ඉන්න බැරි බව ඔබ තේරුම් ගත යුතුයි. ඔබ දෙදෙනා දෙදෙනෙක් බවත් වෙනස් අවශ්‍යතා තිබෙන්නට හැකිබවත් වටහා ගන්න. අනවශ්‍ය ලෙස ඔහු හෝ ඇයව සැක කිරීමෙන් වළකින්නට වගබලාගන්න.

2.තම අදහස් නොසඟවා හෙළිකරන්න

හුඟක් ආදර කතා අසාර්ථක වීමට ප්‍රධානම හේතුවක් තමයි සාර්ථක සන්නිවේදනයක් නොතිබීම. ඒ කියන්නේ ඔබට දැනෙන හැඟෙන දේවල් ඔවුන්ට නොකියා සඟවා ගැනීම. ඔබට දැනෙන දේ ඔහුට හෝ ඇයට නොසඟවා පැවසීමෙන් ඔවුන්ට ඔබව තේරුම් ගන්නට ලැබෙන අවස්ථාව වැඩිවෙනවා. එසේ නොමැතිව ඔවුන් ඔබව තේරුම්ගත යුතු බව හිතන එකනම් නුවණක්කාර අදහසක් නෙවෙයි. ඒ වගේම ඔබත් ඔහුට හෝ ඇයට හොඳින් සවන් දෙන්න, අදහස් වලට ගරු කරන්න.

3.කොන්දේසි වලට යටවෙලා ආදරය දෙන්න එපා

ආදර කියන්නේ පිවිතුරු හැඟීමක් මිසක් තරාදියකින් මැනලා බලලා දියයුත්තක් නෙවෙයි. අනෙකා ඔබ වෙනුවෙන් දෙන ආදරය, කියන වචන මතක තියන් ඒ හා සමානව ඔබත් දේවල් කරන්න යන්න එපා. එහෙම කළොත් ඔබේ ආදරය අසාර්ථක වේවි. බොහෝ පෙම්වතුන් අනෙකා තමාට වියදම් කරන ප්‍රමාණයට තමාට ලබාදෙන ත්‍යාගවල වටිනාකම් බලා ඊට ගැලපෙන්නට ආදරය කරන්න ගිහින් හැමදේම වරද්දා ගන්නවා. ඔබ ආදර ලබා ගැනීමට නම් ඔබ අසීමිතව ඔහුට හෝ ඇයට දෙන්න. ඔබ එසේ කරද්දී ඔවුන් තව තවත් ආදරය කිරීමට වගේම ඔබ සමඟම හැමදාම රැඳෙන්නටත් පෙළඹෙනවා.

4.ගැටළුවලට සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් හොයන්න

ඔබ දෙදෙනා අතර ඇතැම් අවස්ථාවල ගැටළුකාරී තත්වයන් ඇති වෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවක බැන වැදීම, පහර දීම, කතා නොකිරීම වැනි දේවල්වත් අනෙක් අය සමඟ ඔවුන්ගේ වැරදි අඩුපාඩු කියන්නටවත් යන්නට එපා. මෙහිදී ඔබ බුද්ධිමත්ව කෝපය නිවෙන තුරු නිශ්ශබ්දව හිඳිමින් පසුව ඔහු හෝ ඇය සමඟ ඒ ගැන සාකච්ඡා කර ප්‍රශ්නය විසඳා ගන්න.

5.සැනින් සමාව දෙන්න

වැරදි කිරීම මනුෂ්‍ය ස්වභාවයක්. ඒ වගේම සමාව දීලා නැවත ආදරය දීම හොඳ පෙම්වතෙකුගේ පෙම්වතියකගේ ලක්ෂණයක්. සියල්ලෙන් පරිපුර්ණ මිනිසුන් ලෝකය තුල නැහැ. ඔබත් එහෙමයි. ඉතින් ඒ නිසා ඔහුගෙන් හෝ ඇයගෙනුත් පරිපුර්ණත්වය හොයන්න යන්න එපා. සුළු වැරදි බොහෝ කලක් මතකයේ රඳවන් රණ්ඩු සරුවල් කරන්න එපා. සමාව දීමේ ගුණය ඔබට නැතිනම් ඔබේ ආදරය අනතුරේ.