ඔබට ජීවිතේ කොයි දේ නොලැබුනත් යහපත් සැමියෙක් ලැබෙනවා කියන්නේ මේ ලෝකේ ඉන්න කෝටි ගානක් කාන්තාවන් අතරේ ඔබ ගොඩාක් වාසනාවන්තයි කියන එක. සමහර කාන්තාවන් තමන්ගෙ සැමියා කොයිතරම් ආදරණීය, යහපත්, කෙනෙක් වුවත් එම ලක්ශණ යහපත් සේ හදුනා ගන්නේ නෑ. ඉතින් අපි අද ඔබට යහපත් සැමියෙකුගේ ලක්ශණ මොනාද කියල කියන්න හිතුවා.
ඔයා දුකින් ඉද්දි මට දුකයි
ඔබ දුකින්, කනස්සල්ලෙන්, පීඩනයෙන් හිදිනු දැකීමට ඔහු අකමැති නම් ඔහු ඔබට පියෙකු මෙන් කාරුණික ආදරණීය සැමියෙකි. එවිට ඔහු කිසිම විටකින් කායිකව හෝ මානසිකව ඔබව රිදවන්නේ නැත. භාහිර හේතුවක් වෙනුවෙන් ඔබ දුකට පත් වූවත් ඔබ සැනසීමට ඔහුට කල හැකි සියල්ල කිරීමට පෙලඹෙයි. මෙය බොහෝ බිරින්දෑවරුන්ට හිමි නොවන වාසනාවකි.
ඔබේ ජය මගෙ සතුටයි
මේ වනවිට කාන්තාවන් පෙර මෙන් පවුල වෙනුවෙන් තම පුද්ගලික දියුණුව අත් නොහරිති. කාන්තාවෝ විවාහයෙන් පසුවත් අධ්‍යාපනයේ යෙදෙමින් වෘත්තීය සාර්ථකත්වය හඹමින් කටයුතු කරති. ඇතැම් ආත්මාර්ථකාමී සහ ඊර්ෂ්‍යාකාර සැමියන් සිය බිරිද තමාට වඩා උසස් තත්වයක් ළගා කර ගැනීම නොයිවසයි. එයින් තමාට අවනම්බුවක් වනු ඇතැයි සිතා බිරිදගේ දියුණුවට හරස් වෙයි. ජීවිතේ සිහින සැබෑ කරගන්න ඉලක්ක සපුරා ගන්න ඉහල යන්න උදව් කරන සැමියෙක් ලැබී ඇති නම් ලොව බොහෝ ගැහැණුන් අතරේ ඔබ ඉතා වාසනාවන්ත වනු ඇත.
ඔබේ සෙවණැල්ල යට
භාහිර සමාජයෙන් ඔබට එල්ල වන ගැටලු වලදී ඔබ වෙනුවෙන් නොපැකිලව ඉදිරිපත් වන සැමියෙක් ලැබීම වාසනාවකි. විශේෂයෙන් බොහෝ කාන්තාවන්ට සැමියාගේ පාර්ශවයේ නැන්දම්මා නෑනා වරුන්ගෙන් පීඩන එල්ල වෙද්දී බොහෝ සැමියන් ගොලු වනු දැකිය හැක. එබදු අවස්ථාවලදී පවා ඔබ වෙනුවෙන් ඔබ සමගින් සිටින සැමියෙකු ලැබීම භාග්‍යකි.
ගෙදර වැඩ කරන්නෙ කවුද
පෙර මෙන් ඉපයීම් සැමියාට ගෘහ පාලනය බිරිදට යැයි බෙදීමක් මේ යුගයේ නැත. දෙදෙනාම ඉපයීම් කිරීමට කරට කර සටනක නිරත වෙයි. එම නිසා ගෘහ කටයුතු කලමනාකරණය කිරීමත් දෙදෙනාගේම සහභාගිත්වයෙන් සිදු විය යුතුයි. පැකිලීමකින් තොරව හැකි අයුරින් නිවසේ කටයුතු දෙදෙනාම උරදී සිදු කල යුතු යැයි සිතන සැමියෙක් ඔබට ඉන්නවා නම් ඔබ ඉතා වාසනාවන්තයි.
ඔයා ආස දේවල්
ඔබ කැමති දෙයටම කැමති සැමියෙක් ලැබීම දුර්ලභය. මෙලොව 100% සමාන රුචියන් ඇති මිනිසුන් නැත. එහෙත් ඔබ කැමති දේට ගරු කරන සැමියෙක් ඔබට ලබා ගත හැක. ඔබ කැමති විලාසිතා ඔබ කල යුතු යැයි සිතන, ඔබ කැමති විනෝදාංශ වල ඔබ නියැලිය යුතු යැයි සිතන ඔබත් රුචි අරුචින් ඇති මනුශ්‍යයකු ලෙස දකින සැමියෙක් ලැබීම වාසනාවකි.
වරදින තැනදී
ඕනෑම කෙනෙක් අතින් අඩුපාඩු සිදුවේ. වැරදි තීරණ, නොදැනුවත්කම හෝ මොන යම් හේතුවක් මත වුවත් ඔබෙන් සිදුවූ වරදකදී ඔබව අපහසුතාවට පත් නොකර ,ඔබේ වැරදි පිටස්තරයන් ඉදිරියේ කියමින් ඔබට අගෞරව නොකරන සැමියෙකු ලැබීම වාසනාවකි.
අගය කිරීම්
බිරිදක් කියන්නෙම අසීමිත කැපකිරීම් කරන කෙනෙකුට. ඒත් බහුතරයක් බිරින්දෑවරුන්ට තමන් කරන කිසිම දෙයක් ගැන අගයක් අහන්න ලැබෙන්නෙ නෑ. ඔබව අගය කරන ස්තූති කරන ඔබව වටින සැමියෙක් ඔබට ඉන්නවා නම් ඒක කලාතුරකින් ලැබෙන වාසනාවක්.
සල්ලි නැතත් ආදරෙයි
මේවනවිට ලංකාවෙ බහුතරයක් කාන්තාවන් ඉපයීමට යොමු වී ඇත්තේ ඉපයීමක් නැති කතකට සැමියාගෙන් අඩු සැලකිලි , අගෞරව සහ අවනම්බුවක් සිදු වේ යැයි සමාජ ගතවී ඇති බැවිනි. එබදු පසුබිමක ඔබේ මූල්‍ය තත්වය ඉපයීම් සහ වත්කම් කුමන මට්ටමක වූවත්, ඔබට ආදරය සෙනෙහස ගෞරවය දැක්වීමට ඔබේ රැකියාව හෝ මුදල් හේතුවක් කර නොගන්නා සැමියෙක් ඔබට සිටී නම් ඔබ අතිශය වාසනාවන්ත බිරිදකි.
එයා මගේ විතරයි
සැමියෙකුගේ මොන වරද ඉවසුවත් ආදරේ බෙදාගන්න නම් කිසිම බිරිදක් සූදානම් නෑ. ඒක බිරිදකගේ ජීවිතේ ඇයට දරන්න වෙන ලොකුම වේදනාව වෙන්න පුළුවන්. ආදරේ කරන්න ගත්තු දා ඉදලම කොයිතරම් පිටස්තර ගැහැණු දැක්කත් ඒ අය එක්ක සබදතා ඇති කර නොගෙන තමන්ගෙ බිරිදට විතරක් ආදරය කරන සැමියෙක් ඔබට ත් ඉන්නවා නම් ඔබ ආශිර්වාද ලත් වාසනාවන්ත ගැහැණියක්. මොකද මේ මොහොත වෙද්දිත් ලෝකයේ අනන්තවත් ගැහැණු සැමියාගේ නොමනා හැසිරීම් නිසා වේදනා විදිනව. ඔබට එහෙම දුක් විදින්න නොදෙන ඔබට විතරක් ආදරය කරන සැමියෙක් ඉන්නවා නම් ඔබ ඇත්තෙන්ම වාසනාවන්තයි.