දහසක් පැතුම් පොදි බැදගෙන ජීවිතේට සහකාරයෙක් තෝරගත්තම ඔහු එක්ක ජීවිතේ සතුටෙන් ගෙවන්න පුළුවන් වෙයිද කියන සාධාරණ බිය ඕනිම ගැහැණු ළමයෙකුට ඇති වෙනව. විවාහ ජීවිතේ ප්‍රශ්න සහිත කාන්තාවන් එක්ක කතා කරද්දී ” පෙම් කරන සමයෙදි පෙම්වතාගෙ මේ ගැටලු නිරීක්ෂණය උනේ නැද්ද ” කියල ඇහුවම ගොඩාක් කාන්තාවන් ඒ ගැටලු දැකල පස්සෙ හැදෙයි කියල බලාගෙන හිටි බව පැහැදිලි වෙනව. සමහර අයට නම් ආදරෙන් අන්ධ වෙලා නිසා රතු කොඩි පෙනිලම නෑ .
තවත් පිරිසක් ඉන්නවා වැරදි දැකල වැරදි තේරුම් අරගෙන සමාජෙට බයේ දිගටම සබදතාව පවත්වලා විවාහ වෙලා දුක් විදින අය. හැබැයි අවසානේ මේ ඔක්කොම දුක් ජීවිත කාලෙම තනියම දරාගන්න ඒ අයට සිදු වෙලා .එහෙම නැතිනම් දික්කසාද වෙන්න වෙලා .ඉතින් මේ ගැටලු ඔබේ පෙම්වතා තුලත් තියනව නම් සබදතාව ගැන අනිවාර්යයෙන් තීරණයක් ගන්න . දුක් කසාදෙකට දික් කසාදෙකට වඩා ඒ අත් හැරීම ඔබට වාසිදායක වෙයි
සැකය තමයි ලොකුම හතුරා
සැකය කියන්නේ මානසික රෝගයක්. උගත් නූගත් සමාජ මට්ටම් භේදයකින් තොරව මේ රෝගය තියන අය ඉන්නවා . මුන ගැහුනම කරන්නෙ පෙම්බස් කීම ආදරෙන් ලංවෙලා ඉදීම සිදු නොකර දුරකතන පරික්ශා කිරීම, සමාජ මාධ්‍ය ගිනුම් පිරික්සීම , බෑග් පර්ස් පරික්ශා කරන තරම්ම සැක කරන පෙම්වතුන් වෙසෙනව. වෙන කෙනෙක් දිහා බැලුවත් ඒ කෙනා එක්ක යාලුයි කියල මානසිකත්ව වද දෙන අය ඕනිතරම් . ඉතින් අවුරුදු තිහක් හතලිහක් ඒවගේ මානසිකත්වයක් තියන කෙනෙක් එක්ක ඉන්නවට වඩා මුලින්ම අයින් වෙන එක පහසුවක්
” එයා මේවා අදිනවට කැමති නෑනෙ”
පෙම්වතෙක් වූ පමනින් ඇයගෙ ජීවිතයේ සියලුම දේවල් පාලනය කිරීමේ බලය ඔහුට ලැබෙන්නෙ නෑ . ඇයත් සාමාන්‍ය මනුශ්යෙයෙක්. පෙම්වතිය අදින ඇදුම් පලදින ආභරණ ඇගේ වරලස කෙසේ විය යුතුද ? ඇය ඇසුරු කල යුත්තේ කවුද? ඇය යා යුතු නොයා යුතු තැන් මොනවාද ආදිය තීරණය කිරීමට බලයක් පෙම්වතාට ලබෙන්නේ නෑ යම් පෙම්වතෙක් ඔබේ සමාජීය ජීවිතය පාලනය කරන්න උත්සහ ගන්නව නම් ඔහු සමග ජීවත් වීම පහසු වෙන්නෙ නෑ .
රස්සාවක් ඕනි නෑ
ඔබේ අකමැත්තෙන් ඔබගේ පුද්ගලික ජීවිතේ ඉලක්ක වෙනස් කරන්න හදන පෙම්වතා විශාල රතුකොඩියක් . ඔබේ ඉගනීම ,ඔබේ රැකියාව ආදියට බාධා කරන ඔබේ දියුනුව නොයිවසන කෙනෙක් ඔබේ පෙම්වතා වෙන්න සුදුසු නෑ . මේවගේ අයගේ විශේෂ ලක්ශනයක් තමයි පෙම්වතියගේ විභාග කාල වලදි ආරවුල් ඇති කර ඇයට මානසික පීඩා දීම .
මං තමයි ලොක්කා
ඕනම සබදතාවකට නම්‍යශීලී වීම අත්‍යවශ්‍යයි. ආරවුලකට පසු දින ගනන් නිහඩ වන , තමන්ගෙ වැරදි පිලි ගන්න අකමැති තමන් පමනක් නිවැරැදියි කියල හිතන අධි මානයෙන් පෙලෙන අය පෙම්වතෙක් ලෙස නෙවෙයි යාලුවෙක් විදියට වත් ජීවිතේට ලං කරගන්න එපා .
ඇබ්බැහි වීම්
ඕනිම දෙයකට ඇබ්බැහි වීම භයානකයි. හැම දෙයක්ම මැද මාවතක පවත්වගෙන ජීවිතේ බැලන්ස් කිරීම දක්ශතාවක්. සමහර ඇබ්බැහියන් නිසා ජීවිතෙම විනාශ වෙන අවස්ථා ඕනිතරම් . මත් ද්‍රව්‍ය , දුම් වැටි, වීඩියෝ ගේම්, සමාජ මාධ්‍ය ,මිතුරු ඇසුර , අසභ්‍ය චිත්‍රපට , මෙකී නොකී ඕනෑම දේකට ඇබ්බැහි වී ඇති අයෙක් සමග ඉදිරි ජීවිතේ ඒතරම් සුවදායක වන්නෙ නෑ. ඒවගේම නිස්කාරනේ දකින දකින තරුණියන් සමග කෙටි සබදතා ගොඩ නගා ගන්න , නිකම් චැට් කර කර ඉන්න ඇබ්බැහි උන කෙනෙක් නම් තත්වය භයානකයි .මේ ඇබ්බැහියන් විවාහයෙන් පසු හරි යයි කියල සිතීම ඔබ කරන ලොකුම අණුවන කමක්.
හැමදාම එක තැන
බොහෝ පිරිමින්ට ජීවිතේ හෙට ගැන සිහින නෑ. අද දවසේ ජීවත් වෙලා හෙට එන විදියට මුහුණ දෙන කෙනෙක් ට කවදාවත් ජීවිතේ සාර්ථක කරගන්න බෑ . අනාගතය ගැන සිහින නොදකින ඒ සිහින වෙනුවෙන් කැප වෙන මහන්සි වෙන කෙනෙක් නොවී හැමදේම අසුභවාදීව දකින පෙම්වතෙක් ඔබේ ජීවිතයත් අරගෙන යන්නෙ අදුරට.
අම්මගේ සුරතලා
මේක හරිම සංවේදී දෙයක් .අපි හැමෝටම අපේ අම්මා වටිනව. ඒත් මේ කියන්න යන්නේ අම්මා නැතුව කිසිම තීරනයක් ගන්න බැරි පුත්තු ගැන . කෙටියෙන් කිව්වොත් පෙකිනිවැල කපල නැති වැඩිහිටි පුතුන් ගැන . නැන්දම්මා ලේලි ගැටලුවට පසුකාලීනව මැදි වෙන්නේ මේවගේ පුත්තු. අන්න එතනදි ඔහු ගන්නෙ සාධාරණයේ පැත්ත නෙවෙයි අම්මගෙ පැත්ත. ඒවගේම අම්මා හැර සියලුම කාන්තාවන් පහත් කරලා සැලකිම මොවුන්ගේ විශේෂ ලක්ශනයක්. නැන්දම්මා ලේලි ගැටලුව නිසා ඇතිවන තත්ව ගැන අවබෝධයක් තියන කිසිම ගැහැනු ළමයෙක් මෙවැනි පෙම්වතෙක් සමග ජීවිතේ බෙදා ගන්නේ නෑ.