latest articles

පාසල් වයසේ ඉගෙනුම ලබන බොහෝ දෙනෙක් පාඩම් කිරීමේදී සිදු කරන වැරදි 5ක්

පාසල් වයසේ පසුවන හැම කෙනෙක්ම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පාඩම් කිරීම සිදු කරනවා. ඉතින් මෙහෙම පාඩම් කරද්දී ගොඩක් දෙනෙක් අතින් සිද්ද වෙන වැරදි කීපයක් තියෙනවා. ඉතින් අද අපි මේ ලිපියෙන් කියලා දෙන්නේ පාඩම් කරද්දී බොහෝ දෙනෙක් අතින් සිද්ද වෙන ඒ වැරදි කීහිපය නිවැරදි කරගන්න හැටි ගැනයි. පාසල් වයසේ ඉගෙනුම ලබන ඔබට මේ ලිපිය ගොඩක් උපකාරී වේවි කියලා අපි හිතනවා.  

1.උනන්දුවකින් තොරව ඉගෙනීම

කිසිම උනන්දුවකින් තොරව කම්මැලිකමේ ඔහේ පාඩම් කරන එක ඇත්තටම නිෂ්ඵල දෙයක්. ඉතින් ඒ නිසා පුළුවන් තරම් උනන්දුවෙන් වැඩ කරන්න පුරුදු වෙන්න ඕන​. මොකද ඔයා මොන විදියට පාඩම් කළත් එතන උනන්දුවක් නැත්නම් ඒ පාඩම් කරන දේවල් ඔයාට පොඩ්ඩක්වත් මතක හිටින්නේ නෑ. ඔයා තමන් වෙනුවෙන් අරමුණක් තියාගන්න. ඒ අරමුණට යන පාර තියෙන්නේ ඉගෙනීම මතයි කියන දේ විශ්වාස කරලා කටයුතු කරන්න.

2.පාඩම් කරන මේසය අපිළිවෙල වීම

සාමාන්‍යයෙන් පාඩම් කරන මේසය හරි එහෙමත් නැත්නම් බිම ඉඳගෙන පාඩම් කරනවා වුණත් ඔයාට පුළුවන් එතන පිළිවෙලට, පිරිසිදුව, වැඩිය බඩුමුට්ටු නැති තැනක් කරගන්න. අපිළිවෙල තැනක ඉඳලා පාඩම් කලාම ඒක මොළේට යන්නේ හරිම අඩුවෙන්. ඒ වගේම තමයි පාඩම් කරන තැන ඕනවට වඩා ලස්සන කරගන්න කියලා සෙල්ලම් බඩු වලින් වගේ පිරෙව්වත් ඒකත් ඔයාගේ මොළේට කරදරයක් වෙනවා.

3.විභාගය ළඟ තියාගෙන පාඩම් කරන්න පටන් ගැනීම

ගොඩක් අයට පාඩම් කරන්න මතක් වෙන්නේ විභාගෙට සතියක් දෙකක් වගේ තියෙද්දියි.  ඒක ඇත්තටම වැරදි වැඩක්. එහෙම නැතුව ඔයාට පුළුවන් විභාගයට තව මාස ගාණක් තිබෙද්දීම පාඩම් කරන්න පටන් ගන්න​. ඒ වගේම තමයි පාඩම් කරන දේ ආසාවෙන් කරන්න. අනිවාර්‍යයෙන්ම ඔයාට පුළුවන් ඕනම විභාගයක් කිසිම අමාරුවක් නැතුව ලේසියෙන්ම පාස් වෙන්න.

4.අමාරු දේවල් පාඩම් කිරීමෙන් වැළකී සිටීම

සාමාන්‍යයෙන් ගොඩක් අමාරු දේවල් පාඩම් කරද්දි ඒ අමාරු දේවල් මතක හිටින්නෙ නැත්නම් ඒ දේ අතහැර දාන්න අපි පුරුදු වෙලා තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් අපිට අමාරුයි ලියලා හිතෙන දේවල් තමයි ගොඩක් දුරට විභාගෙට එන්නේත්. ඒ නිසා ඒවා අතඇරලා ගියොත් ලොකු පාඩුවක් වෙන නිසා ඒවා මඟ ඇරලා පාඩම් කරන්න එපා.

5.කටපාඩම් කිරීම

ගොඩක් දෙනෙක්ගෙ පුරුදක් තමයි උගන්නන හැම දෙයක්ම කටපාඩම් කරන එක​. කටපාඩම් කරද්දි  ඒක සාර්ථකයි කියලා සමහරු හිතුවට ඇත්තටම ඒක සාර්ථක ක්‍රමයක් නෙමෙයි. මේ වැරැද්ද නිසා ගොඩක් දේවල් පැටලෙන්න තියෙන අවදානම ගොඩක් වැඩි වෙනවා. මේ වැරදි වැඩෙන් මිදෙන්න ඔයාට පුළුවන් කටපාඩමින් මිදිලා අවබෝධයෙන් කරුණු වටහාගන්න.