අපි පුංචි කාලේ හැමදේම ඉගෙන ගත්තේ අපේ අම්මා තාත්තා දිහා බලාගෙන ඉදලා කියලානේ. ඒ කියන්නේ අපි පුංචි කාලේ හැම දෙයක්ම අම්මා තාත්තා විදියට අනුකරණය කරන්න පුරුදු වෙනවා. ඉතින් මේ නිසා දරුවන්ට මඟ පෙන්වීමේදී දෙමාපියන්ට ලොකු වගකිමක් තියෙනවා. ඒ මොකක්ද කියනවා නම් අපි දරුවන් ඉදිරියේ කල යුතු, නොකළ යුතු දේවල් අඳුරගන්න ඕන වගේම ඒ දේවල් හරියට ක්‍රියාත්මක කරන්නත් ඕන. ඉතින් අපි අද හිතුවා දරුවන් ඉදිරියේ නොකළ යුතු දේවල් මොනවද කියලා ඔයාව දැනුවත් කරන්න. මොකද දැනට ඔයා අම්මා කෙනෙක් නොවුණත් අනාගතයේ දවසක අම්මා කෙනෙක් වෙනවනේ. අන්න එදාට ඔයාගේ ජිවිතයට මේ දේවල් හුගක් වැදගත් වේවි.
කිසිම කෙනෙක්ට බනින්න එපා
දෙමව්පියන්ට ගරු කරන්න වගේම අනෙක් වැඩිහිටියන්ටත් ගරු කරන්නත් දරුවන්ට කියලා දෙන්නේ අම්මයි තාත්තයිනේ. අද කාලේ ඉන්න ගොඩක් දෙමව්පියන් කරන වැරද්දක් තමයි දරුවන්ගේ දරුවන් ඉදිරියේ ආච්චි සීයාට බැන වැඳීම. එතනදී දරුවන් හරිම ආදරෙයිනෙ ආච්චිට ,සීයට. ඒ නිසා එයාලට බනිනකොට දරුවන්ට දුක හිතෙන්න වගේම කලකිරෙන්නත් ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් මේ වගේ වැරදි පුරුදු නිසා දරුවෝ වැඩිහිටියන්ට ගරු කරන්නේ නැතිව යන්නත් ඉඩ තියෙනවා.
ඕප දූප කතාකරන්න එපා
පුංචි දරුවන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ කියලා අපි හිතනවනේ. ඒත් ඒක වැරදියි. එයාලා අපි මොනවද කියන්නේ කියලා හොඳට අහගෙන ඉන්නවා. ඒ නිසා ඔයා ඔයාගේ නෑදැයන්ගේ පෞද්ගලික විස්තර කතා කරනවා නම්, ඒවා කරන්න ඕනේ දරුවන් ඉදිරියේ නම් කතා කරන්න එපා. මොකද ඔයා රහස් රකින්න දන්නවා වුණත්, දරුවෝ ඒ දේවල් රහස් බව දන්නේ නැහැ. දරුවෝ තවත් තැනක ඒවා කියන්නට ඉඩ තියෙනවා. එහෙම දේවල් නිසා පවුල් අතර රණ්ඩු ඇති වෙන්න පුළුවන්. අන්තිමට දරුවොත් ඕපාදුප කියන තත්වෙට පත් වෙනවා වගේම දරුවන්ට කාගේවත් පිළිගැනීමක් ලැබෙන්නේ නැතුව යනවා.
මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා
මත්ද්‍රව්‍ය කියන්නේ ශරීරයට කොහෙත්ම හොඳ දෙයක් නෙමෙයි කියලා අපි හැමෝම දන්නවා. ඒ ගැන දැන දැනම දරුවෝ ඉදිරියේ ඒ දේවල් කරනවා නම් දෙමව්පියෝ විදිහට ඔයාලා කරන්නේ ලොකු වැරද්දක්. ඔබ කුමන මත්ද්‍රව්‍යයක් භාවිතයට ගත්තත් ඒ ගන්නා ආකාරය දෙස දරුවා හොඳින් බලාගෙන ඉන්නවා වගේම ඒ දේ අනුකරණය කරන්නත් දරුවන් කරන්න පුරුදු වෙනවා. එහෙමත් නැත්නම් ඒ දේවල් ගෙනත් දෙන්න කියලා දරුවන්ට කිව්වොත් ඔවුන් මැලි නොවී ඒවා ගෙනත් දෙනවා. ඊට පස්සේ කාලයක් යනකොට දරුවෝ මේ දේවල් අත්හදා බලන්න යනවා.
රණ්ඩු සරුවල් වෙන්න එපා
දරුවන් ඉදිරියේ සමහරක් දෙමව්පියන් කතා කරන විදිහ ඉතාම අප්‍රසන්නයි. එකිනෙකාට බැන වදිමින් , අපහාස කරමින් රණ්ඩු සරුවල් වෙනවා. එතකොට මේවා ඇහෙන දකින දරුවනුත් ඔවුන් කියන වචන අර්ථයක් නොදැන ඔහේ කියවන්න පටන් ගන්නවා. ඊටපස්සේ දරුවෝ දරුවෝ අතර ඇති වෙන රණ්ඩු සරුවල් වලදීත් ඔවුන් ඒවා කියන්න පුරුදු වෙනවා. ඒ විතරක් නෙමෙයි දෙමව්පියන් මේ විදිහට රණ්ඩු වෙනකොට ඔවුන් කෙරෙහි දරුවන්ගේ හිතේ ඇති ගෞරවය ඉබේම නැති වෙලා යන්න ඉඩ තියෙනවා.