කෙනෙක්ට තමන්ගේ ජීවිතේ එපා වෙලා ජීවිතය නැති කරගන්න හිතෙන එක වෙන්න පුළුවන් දෙයක්නේ. මානසික ආතතිය හෝ විෂාදය නිසා කෙනෙක් ක්රමයෙන් ඒ වගේ තත්ත්වෙකට පත්වෙන්න පුළුවන්. තවදුරටත් ජීවත් වෙන්න ඕන නෑ කියලා හරි, මේ විදියට ජීවත් වෙන්න බැහැ කියලා හරි හිතන ඒ වගේ කෙනෙක් ඊලඟට තෝරගන්නේ දිවි තොර කර ගැනීමයි. හැබැයි ඇත්තටම මේ වගේ වෙලාවක තියෙන්නේ ‘මේ විදියට ජීවත් වෙන්න බැහැ’ කියන දේ තමයි එතන තියෙන්නේ. ඔයාගේ යාලුවෙක් මේ විදියට දිවි තොර කරගන්න ඉන්න කෙනෙක්ගේ ලක්ෂණ පෙන්නනවානම් අපි නොකරන්න ඕන දේවල් 5ක් ගැන තමයි අද මේ ලිපියෙන් අරගෙන ආවේ.

1.එයාව විහිළුවට ගන්න එපා
කෙනෙක්ට ජීවිතේ නැති කරගන්න හිතෙනවා කියන්නේ විහිළුවක් නෙවෙයි. හැබැයි අපිට සමහර වෙලාවට ඒකේ බරපතළකම තේරෙන්න නැති වෙන්න පුළුවන්. ඒ නිසාම අපි කෙනෙක් දිවි නැති කරගන්න තැනට පත් වීම විහිළුවකට ගන්නවා. හැබැයි ඒකෙන් වෙන්නේ අපි ඒ කෙනාව බේරගන්නවට වඩා තවත් ජීවිතය නැති කරගන්න තියෙන තැනට තල්ලු කරන එකයි. ඒ වගේම තවත් අය හිතනවා කෙනෙක්ට ජීවිතය නැති කරගන්න අදහසක් තියෙනවා නම් විහිළුවක් තහළුවක් කරලා අවධානය වෙන අතකට යොමු කරලා හිත හදන්න පුළුවන් කියලා. නමුත් ජීවිතේ නැති කරගන්න හිතෙන කෙනෙක්ට එහෙම විහිළුවක් කළ පමණින් එයා එතනින් ගොඩ එන්නෙ නෑ.
2.බණ දේශනා දෙන්න එපා

ජීවිතේ නැති කරගන්න හිතිලා ඉන්න කෙනෙක්ට ධර්මයෙන් දේශනා කරන්න යන එක ගොඩක් දෙනෙක් කරන වැරැද්දක්. මේ ධර්ම දේශනා ගොඩක් වෙලාවට පදනම් වෙන්නේ තමන් අදහන ආගම හෝ එහෙම නැතිනම් පොදුවේ ලෝක ධර්මතා හරි සදාචාරය හරි මතයි. හැබැයි එහෙම බණ කිව්වා කියලා දිවි තොර කරගන්න වුවමනාවෙන් ඉන්න කෙනෙක්ව ගලවා ගන්න එක ඉතාම අමාරුයි. ඒකට හේතුව එයා ඉන්නේ ධර්ම දේශනාවන්ට සවන් දෙන්න පුළුවන් මානසිකත්වයක නොවීම. ඊටත් වඩා මේ වගේ දේශනා හින්දා සමහර විට එයාගේ තීරණය ඉක්මන් වෙන්න පුළුවන්.
3.සංසන්දනය කරන්න එපා

ගොඩක් වෙලාවට ජීවිතේ නැති කරගන්න ඕන කියලා හිතෙන කෙනෙක් එක්ක කතා කරන්න යන කෙනෙක් නොසිතාම කරන වැරැද්දක් තමයි සංසන්දනය කිරීම. ඒ කියන්නේ ‘අපිට තිබුණු ප්රශ්න වල හැටියට අපි මොනවා කරගන්න ඕනද’ වගේ දේවල් ජීවිතේ එපා වෙලා ඉන්න කෙනෙක් එක්ක කියන එක ගොඩක් දෙනෙක් කරන වැරැද්දක්. ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් ජීවිතේ එපා වෙලා ඉන්න කෙනෙක් එක්ක තමන්ගේ ජීවිතේ තිබුණු අමාරුකම් සහ තමන් කොහොමද ඒ අමාරුකම් වලින් ගොඩ ආවේ වගේම තමන් දිවි තොර කර ගන්න තැනකට නොගිය එක ගැන ආඩම්බරේකුත් එක්ක කියලා කියන්න පෙළඹෙනවා. ඒත් ඒක කවදාවත් ජීවිතේ එපා වෙලා ඉන්න කෙනෙක්ට උදව්වක් වෙන්නෙ නෑ. අපි මතක තියාගන්න ඕන දේ තමයි අපි එකිනෙකා වෙනස් කියන එක. එක්කෙනෙක් මුහුණ දෙන ප්රශ්නයකට තව කෙනෙක් මුහුණ දෙන විදිය වෙනස් වෙන්න පුළුවන්.

4.ලැජ්ජා කරන්න එපා
ඇත්තටම දිවි හා නි කරගන්න තැනකට කෙනෙක් එනවා කියන්නේ ලැජ්ජා වෙන්න ඕන දෙයක් නෙවෙයි. “මේ වගේ සුළු දේකට ඔය වගේ මානසිකව වැටෙන්න ලැජ්ජ නැද්ද” කියලා දිවි හා නි කරගන්න නැඹුරුවක් තියෙන කෙනෙක්ගෙන් අහන එක අතිශයින්ම බරපතල සහ නොකල යුතු දෙයක්. ඒකෙන්ම ඒ කෙනාව ජීවිතේ අනිවාර්යයෙන්ම නැති කරගන්න තැනට තල්ලු වෙන්න පුළුවන්. එක එක්කෙනාගේ මානසික මට්ටම, දරා ගැනීමේ මට්ටම වෙනස්. දැන් හොඳට ප්රශ්නෙකට මුහුණ දීලා ඉන්න කෙනෙක් වුනත් ඊළඟ ප්රශ්නයේදී ජීවත් වුණා ඇති කියලා හිතෙන තැනට වැටෙන්න පුළුවන්.
5.විසඳුම් දෙන්න එපා

යාලුවෙක් ප්රශ්නවල හිර වෙලා ජීවිතේ නැති කරගන්න ඕන කියලා කියන තැනක ඉන්න කොට එයාගේ ප්රශ්න වලට කන් දුන්නට පස්සේ අපිට තේරෙන්න පුලුවන් මේ ප්රශ්න වලට ඇත්තටම උත්තර තියෙනවා කියලා. එතකොට අපි කරන්න ඕන එයාට මේ උත්තර ටික කියන එක නෙවෙයි. ජීවිතේ නැති කරගන්න හිතන කෙනෙක්ට ඒ වෙලාවට උත්තර වැඩක් නෑ. ගොඩක් වෙලාවට අපි දන්න උත්තර එයත් දන්නවා වෙන්න පුලුවන්. ඒ මොහොතේ එයාගේ ඔලුවේ තියෙන පීඩනය පිට කරගන්න උදවු දෙන එක මිසක්, එයාගේ ප්රශ්න වලට විසඳුම් දීම වැඩක් වෙන්නෙ නෑ.