latest articles

ඔබ සහ ඔබේ සැමියා අතර දැඩි විශ්වාසයක් පවතින බව පෙන්වන ලක්‍ෂණ 5ක්

යහපත් සන්නිවේදනය, එකිනෙකා කෙරෙහි ඇති ගෞරවය සහ අන්‍යොන්‍ය විශ්වාසය අඹු සැමියන් අතර පවතින සම්බන්ධයේදී ප්‍රධාන වන කාරණා 3ක්. ඒ අතරින් විශ්වාසය කියන්නේ විවාහය ආරක්ශා කරන ශක්තිමත්ම බැඳීම වෙන්නේ. ඕනම කෙනෙක් අතින් වැරදි වෙන්න පුළුවන්. ඒ වගේ ඔබ හෝ සහකරු අතිනුත් අතීතයේ වැරදි වෙලා තියෙන්න ඇති. නමුත් විශ්වාසය සහ බලාපොරොත්තු ඇතිකරගැනීම තමයි වැදගත් වෙන්නේ. ඒක නැතිනම් විවාහයකට ඉදිරි ගමනක් නැහැ. ඉතින් මේ කියන විශ්වාසය දෙදෙනා අතර කොයි තරම් ශක්තිමත්ව තියෙනවාද කියලා පෙන්නුම් කරන ලක්‍ෂණ කිහිපයක් ගැන මේ ලිපියෙන් කතා කරන්න අපි තීරණය කරා.

1.ඔබ දෙදෙනාගේ සැබෑ ස්වරූපය පෙන්වන්න බය නැහැ

මනෝ විද්‍යාඥයන්ට අනුව මනඃකල්පිත සම්බන්ධකම් සහ ස්වභාවික සම්බන්ධකම් කියලා සම්බන්ධතා වර්ග දෙකක් තිබෙනවා. මනඃකල්පිත සම්බන්ධකම් වලදී එකිනෙකා සමාජ ආචාරධර්ම පිළිපඳිනවා. නමුත් ස්වභාවික සම්බන්ධයකදී එකිනෙකා කෙරෙහි සැබෑ ස්වරූපය පෙන්වන්න බය නැති වෙනවා. විවාහ ජීවිතයේදී අවශ්‍ය වන්නේ මේ කියන ස්වභාවික සම්බන්ධකම් පවත්වා ගැනීමයි. ස්වභාවික සම්බන්ධයකදී ඔබ අකැමති දෙයක් අකමැතියි කියන්න මැලි වෙන්නේ නැහැ වගේම අනික් කෙනා එය මහා ලොකු දෙයක් ලෙස ගන්නෙත් නැහැ. ඒ වගේම ශරීරයේ පෙනුම ගැන වුනත් දෙදෙනා අතරේ ලැජ්ජාවක් නැහැ.

2.දවසේ විස්තර එකිනෙකා සමග බෙදාගන්නවා

දැඩි විශ්වාසයක් තියෙන අඹු සැමි යුවලක් දවසේ විස්තර එකිනෙකා සමග බෙදාගන්න හරිම කැමතියි. වෙහෙසකර දවසක් අවසානයේ එකිනෙකාගේ දුක සතුට ගැන සංවේදී වීම විශ්වාසයේ ප්‍රධානම ලක්‍ෂණයක්. ඔබ දෙදෙනා එකිනෙකා ගැන උනන්දුවක් ඇතිකර ගැනීමෙන් දැඩි මිත්‍රත්වයක් වර්ධනය වෙනවා. මේ නිසා දෙදෙනා අතර විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා.

3.එකිනෙකාව පාලනය කරන්නේ නැහැ

ඔබේ නිදහස සීමා නොකර ඔබට කැමති ලෙස නිදහසේ ගමන් බිමන් යන්න, තමන්ට කැමති විදියට හැසිරෙන්න ඉඩ දෙනවා කියන්නේ දෙදෙනා අතර හොඳ විශ්වාසයක් තියෙන බවයි. ඔහු හෝ ඇය ඔබේ දුරකථනය, ෆේස්බුක් ගිණුම් ආදිය පරීක්‍ෂා නොකරන්නේ සහකරුවා වරදක් නොකරන බවට අනිත් කෙනාට ඇති විශ්වාස නිසා තමයි.

4.වැරදි නම් පිළිගන්න සහ එයට සමාව ඉල්ලන්න තරම් ශක්තියක් තිබීම​

ඔබ දෙදෙනා අතරේ ලොකු විශ්වාසයක් තිබෙනවා නම් එකිනෙකා අතින් සිදුවන වැරදි තේරුම් ගන්න, තමා අතින් සිදුවන වැරදි අවංකව පිළිගන්න සහ අවංක සමාව ඉල්ලන්න තරම් හැකියාවක් දෙදෙනා අතරේ තිබෙනවා. ඒ නිසා  දෙදෙනා අතර ගැටුම් ඇතිවීම ගොඩක් දුරට අවම වෙනවා.

5.ෆෝන් එකට ලොක් නොදා නිදහසේ තියාගන්න පුළුවන්

සාමාන්‍යයෙන් කපල් රණ්ඩු ඇතිකරගන්න ප්‍රධානම හේතුවක් තමයි ජංගම දුරකථනයේ ඇති ෆේස් බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම්. නමුත් ඒ දේවල් බයක් නැතුව අනිත් කෙනා ඉදිරියේ ඕපන් කරන්න වගේම අනික් කෙනා ඒවා බලන එකට විරුද්ධ වෙන්නෙ නැත්නම් ඒ කියන්නේ දෙදෙනා එකිනෙකාව හොඳින් විශ්වාස කරනවා කියලයි.