latest articles

ඔබේ බලු සුරතලා ගැන දැනුවත් වියයුතු ම කරුණු

තෙත හොම්බකින්, වැනෙන වලිගෙකින්, හිතට දැනෙන ආදරේ අනාදිමත් කාලෙක ඉදලා අත් වින්ද මිනිසා තමන්ගෙ ලගම හිතවතා කරගන්න තෝර ගත්තේ බලු යාලුවන්ව. මිනිසා විසින් වැඩියෙන්ම ඇති කරන සත්ව වර්ගය වෙන්නෙත් බල්ලෝ. ඔබටත් බලු සුරතලෙක් ඇති. එහෙම නැතිනම් ඔබේ නිවසට බව්වෙක් ගේන්න බලාපොරොත්තුවෙන් ඇති. ඒ කොහොම උනත් බවුවෝ ගැන මේ කියන්න යන කරුණු ගැන දැනගෙන ඉන්න එක අනිවාර්‍යයි. දැනුවත් බව එක්ක බලු සුරතලෙක් ඇති කිරීම එම සත්වයාට මෙන්ම ඔබටත් ඉතාමත් යහපත් ප්‍රථිලාභ දෙනවා.

බලු යාලුවෙක් ගේන්න කලින්

පාරෙ ඉදලා ගෙනාවත් මිලදී ගත්තත් බලු පැටියෙක් ගේන්න කලින් එයා වෙනුවෙන් වැය කරන්න ඔයාට වෙලාව තියනවද, පෝශනය කරන්න හැකියාව තියනව ද, බෙහෙත් හේත් කරන්න පුළුවන් ද කියල හිතා බලන්න. එයාට අවශ්‍ය තරම් ඉඩක් ඔබේ නිවසේ වෙන් කරන්න පුළුවන් ද , වටපිටාව ආරක්ශිතද කියල ත් හිතා බලන්න. මේ කොයි දේ සම්පූර්ණ උනත් ඔබේ නිවසේ අනික් සාමාජිකයන් බලු සුරතලා පිලි ගන්න නම්‍යශීලී වෙයිද කියල ත් හිතලා බලන්න. මේකෙන් බලු පැටියා වගේම ඔබත් අපහාසුතාවට පත්වීම වලක්වා ගන්න පුළුවන්.

බලු පැටියා ගෙනාවට පස්සේ

මවු බැල්ලට යම් අනතුරක් වීම හෝ මහ මග අනාරක්ෂිතව සිටින බලු පැටියෙක් නොවේ නම් උපතින් සති 8-10 ක් වත් මවු කිරි බොමින් මව සමග ගත කිරීමට පැටියාට අවස්ථාව දීමෙන් ශක්තිමත් ජීවිතයකට පැටියා සූදානම් කල හැක. මවගෙන් මිදුණු පැටවුන් දැඩි සේ උණුසුම බලාපොරොත්තු වේ. ‍තනි කමට බිය වීම ඔවුන්ගේ ස්භාවයයි. එබැවින් උණුසුම ආරක්ශා වන පාලු නොදැනෙන සේ පැටවා තබා ගන්න. පැටවා අපිරිසිදුවට සිටී නම් දහවල් කාලයේ මද උණුසුම් ජලයෙන් නෑවීම හෝ වෙට් වයිප්ස් වලින් පිරිසිදු කිරීම සිදු කරන්න. පශු වෛද්‍ය වරයා හමුවී පණු බෙහෙත් සහ අවශ්‍ය ඉන්ජක්ශන් ලබා දීමට පියවර ගන්න.

චූටියාට බඩගිනිද?

බලු පැටවුන්ට මුල් කාලයේදී කිරි වේල් 8 ක් ලබා දිය යුතුයි. ඉන්පසුව කිරි සමග බත් පාන් හෝ ඩෝග් ෆුඩ් මිශ්‍ර කර කුඩා වේල් 6 කට වෙන් කර ලබා දිය යුතුයි. බල්ලෙක් උපතේ සිට අවුරුදු 1 1/2 ක් තුල සිය සම්පූර්ණ ශරීර ප්‍රමාණයට පත් වන නිසා ඒ වැඩෙන වයසේ අවශ්‍ය නිසි පෝශනය ලබා දිය යුතුයි. බත් සමග මස් මාලු එලවලු පලා මිශ්‍ර කර සමබර ආහාර වේලක් සහ ඇති තරම් පිරිසිදු ජලය සැපයීම සිදු කරන්න.

නෝටි වැඩ

බලු පැටවු සෙරප්පු, සපත්තු, රෙදි, ගල්, මෙකී නොකී විවිධ දෑ සපා දැමීමට රුසියෝය. බොහෝවිට සිය ස්වාමියාගේ නිතර භාවිත කරන ආම්පන්න මෙසේ සපා දමන්නේ හේතු කිහිපයක් නිසායි. බලු පැටවුන්ගේ කිරි දත් එනවිට විදුරුමස් මත ඇති වන කැසීම සමනය කිරීමටත් පාලුව කාන්සිය මග හරවා ගැනීමටත් ඔවුන් එය සිදු කරයි. බල්ලන් ස්භාවයෙන්ම සිය මිනිස් පවුල තම පවුල ලෙස සලකන නිසා හැකිතාක් තනි නොකර තැබීමෙන් මෙය වලක්වා ගත හැක.

බලු පැටියා ආසම දේවල්

බලු පැටියකුගේ මෙන්ම වැඩුනු බල්ලෙකුගේ ජීවිතයේ එම සත්වයා වැඩියෙන්ම ප්‍රිය කරන්නේ තම හාම්පුතා ඇතුලු පවුලේ අයගේ ආදරය විදීමටයි. හැකි තරම් එලිමහනේ සෙල්ලම් කිරීමට අවස්ථාව ලබා දීම සුරතලා ශක්තිමත් සහ නිරෝගිව වැඩීමට අත්‍යවශ්‍ය වේ.

තහනම් දේවල්

බලු සුරලතලාට ඇති ආදරය නිසාම ඔහුගේ සෞඛ්‍යට තර්ජනයක් වන දෑ නොදැනුවත්වම ලබා දීමට හාම්පුතුන් පෙලඹෙති. ඒ අතර මූලිකස්ථානයේ සැලකෙන්නේ සීනි අඩංගු ආහාරයි. ඒ අතරින් චොක්ලට් සහ අයිස්ක්‍රීම් ඉතාමත් අහිතකර වේ. ලූනු ,සුදුලුනු , , ටොෆි , සීනි අඩංගු බිස්කට් , චොකලට් සහ කොකෝවා අඩංගු කෑම වර්ග, අයිස්ක්‍රීම් , කෝපි මිදි ,පැනඩෝල් , අමු මස් මාලු බිත්තර , අලිගැටපේර , තක්කාලි , හතු මෙන්ම මස් කටුත් බල්ලන්ට කිසිසේත්ම ලබා නොදිය යුතුයි.