latest articles

ඔබේ දරුවාගේ සන්නිවේදන හැකියාව ඔප නැංවීමට ඔබට කළහැකි දේ

දරුවන්ට පුංචි කාලයේ ඉඳන්ම කියවීම සහ ලිවිම පුරුදු කරනවා. එය දරුවන්ගේ අධ්‍යාපනයට අත්‍යවශ්‍යම අංගයක්. ඒවගේම අනිවාර්යයෙන්ම දරුවාගේ වාචික භාෂා කුසලතා වර්ධනය කළයුතුයි. විශේෂයෙන්ම දරුවාගේ කතා කිරීමේ හා සවන් දීමේ හැකියාව ළමා කාලයේ සිටම පුහුණු කළ යුත්තක්. එමඟින් දරුවන්ගේ සන්නිවේදන හැකියාවන් දියුණු කරමින් විශ්වාසයෙන් යුතුව ඕනෑම දෙයක් ප්‍රකාශ කරන්න ඔවුන් ඉගෙන ගන්නවා. එය දරුවාගේ සාර්ථකත්වයට මනා රුකුලක් වෙනවා.

අදහස් දැක්වීමට ඉඩදෙන්න

ඔබ වැඩිහිටියෙක් විදිහට ස්වභාවයෙන්ම සංවාද වලට නායකත්වය දීමට සහ දරුවාගේ දැනුම පරීක්ෂා කිරීමට උනන්දු වෙනවා. නමුත් පර්යේෂණ වලින් පෙන්වා දෙන්නේ නිරන්තරයෙන් දෙමාපියන් උපදෙස් දෙනවිට හා නිවැරදි කිරීම් කරනවිට, එයින් දරුවන්ට ඍණාත්මක බලපෑමක් ඇති විය හැකි බවයි. මේ නිසා “ඇයි එහෙම කරන්නේ? ඒ මොකක්ද? වගේ ප්‍රශ්න අහනවට වඩා ඒ පිළිබඳ දරුවා සමඟ කතාබහ කරන්න, සංවාදයක් ඇති කරගන්න උනන්දු වෙනවා නම් වඩාත් හොදයි.

නිවැරදිව කථාබහ කිරීමේ හා සවන්දීමේ වටපිටාවක් ගොඩනගමු

නිවසේදී දරුවා සමඟ කියවීම, ගෙදර වැඩ කිරීම හා ක්‍රීඩා කිරීම ආදිය කිරීමේදී බාහිර ශබ්ද නොමැති කාලයක් තෝරා ගන්න. ඒ වගේම දරුවා සමඟ නිශ්චිත ක්‍රියාකාරකමක යෙදෙන විට ඒ ආකාරයටම සෑම දෙයක්ම ඉටු කරන්න. සාමාන්‍යයෙන් ඔබ දරුවා සමඟ රූපවාහිනිය නැරඹීම ද ඉගෙන ගැනීමට, සවන් දීමට සහ සංවාදයක් ඇති කිරීමට උපකාරී වෙනවා.

විවෘතව ප්‍රශ්න වලට විසදුම් සෙවීමට ඉඩදෙන්න

විවෘතව දරුවා සමඟ ප්‍රශ්න කරමින් සංවාද ඇති කරන්න. ඔබෙන් දරුවා නිතරම ප්‍රශ්න , ගැටළු විමසන විට ඒ ගැටලුව ගැන පැහැදිලි කර දෙන්න. “ඔයාට ක්‍රමයක් සොයා ගන්න පුළුවන්ද?” “අපිට කරන්න පුළුවන් මොනවද?”,  වගේ ප්‍රශ්න දරුවා වෙතට යොමු කරන්න. එමඟින් දරුවාට ස්වාධීනව ඔහුගේ ගැටළු විසඳා ගැනීමට සහ නිවැරදි මාර්ග සොයා ගැනීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම ළමා අවධියේ සිටම දරුවන්ගේ සන්නිවේදන හැකියාවන් ඔප නැංවීම ඔහුගේ සාර්ථකත්වයට මහඟු රුකුලක් වෙනවා සේම  සමාජීය වශයෙන් ගණුදෙනු කිරීමේදී පවා, දරුවන්ට කිසිදු බියක් සැකක් නොමැතිව ජීවත් වීමේ හැකියාව ස්වභාවයෙන්ම වර්ධනය වෙනවා.