ඇහිබැම යනු ඔබේ මුහුණට ලස්සන ගෙන එන මුහුණේ වැදගත්ම Feature එකක්. ඝනව හොඳින් වැවුණ ඇහිබැමකට අපි කවුරුත් කැමතියි. ඝනව හොඳින් වැවුණ ඇහිබැමක් මනාව කපා තිබෙන විට මුහුණේ හැඩ හොඳින් පේනවා. ඒ නිසා ලස්සන ඇහිබැමක් ලබාගැනීමට කාන්තාවන්ට කලහැකි පහසු සත්කාර කිහිපයක් තමයි අද අපි මේ ලිපිය මඟින් ඔබට ඉදිරිපත් කරන්න යන්නේ.

1. නිවසේදීම සාදාගත හැකි ස්වාභාවික තෙල් මිශ්‍රණය
මෙම වට්ටෝරුව, ඝනව හොඳින් වැවුණ දිගු ශක්තිමත් ඇහිබැමක් ලබාගැනීමට උපකාරී වෙනවා. මේ සඳහා ඉතා පෝෂණ ගුණයෙන් යුතු තෙල් වර්ග කිහිපයක්ම යොදා ගන්න පුළුවන්. පොල් තෙල්, එඩරු තෙල්, ඔලිව් ඔයිල් සමාන ප්‍රමාණවලින් ගෙන එයට අලිගැට පේර තෙල් තේ හැඳි 1 ක් එක් කර හොඳින් මිශ්‍රකරන්න. ඉන්පසුව මස්කාරා බුරුසුවක් හෝ ඔබේ ඇඟිලි භාවිතයෙන් එම මිශ්‍රණය ඔබේ ඇහිබැමෙහි ආලේප කරන්න. එය විනාඩි 30ක් පමණ තබා හොඳින් සෝදා හරින්න. මෙය සතියකට එක් වරක් හෝ දෙවරක් සිදු කිරීම ප්‍රමාණවත් වේ.
2. ළූණු යුෂ

ළූණු යුෂ මඟින් ඇහිබැම පෝෂණය කර ශක්තිමත් කරනවා. ඒ වගේම ඇහිබැමෙහි වර්ධනය වැඩි කර දීප්තිමත් බවක් ද ලබා දෙනවා. කුඩා ළූණු ගෙඩියක් ගෙන එය සිහින්ව කපා යුෂ ඉවත් කරගෙන ඒ යුෂ ඔබේ ඇහි බැම මත ආලේප කර විනාඩි 5 ක් හොඳින් සම්බාහනය කරන්න. ඉන්පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න. ළූණු යුෂ ඉවත් කරගන්න අපහසු කෙනෙක්ට ළූණු පෙත්තකින් ඇහි බැම හොඳින් අතුල්ලා සිසිල් ජලයෙන් සෝදා හරින්නත් පුළුවන්.
3. කිරි
කපු පුළුන් කැබැල්ලක් කිරි වල පොඟවා ඔබේ ඇහිබැමෙහි හොඳින් ගල්වන්න. ඉන්පසුව එම කිරි වියළීමට ඉඩ දෙන්න. පසුව සිසිල් ජලයෙන් සෝදා හරින්න. කිරි වල තිබෙන ප්‍රෝටීන්, විටමින් බී, ලැක්ටික් අම්ලය සහ කැල්සියම් ඇහිබැමෙහි කොලජන් නිෂ්පාදනය උත්තේජනය කර වර්ධනය වැඩි කරන අතරම ඇහිබැම ආරක්ෂා කිරීමත් කරනවා.

4. ලෙමන් යුෂ
ලෙමන්වල ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා ඇහිබැම ශක්තිමත් කර හොඳින් වර්ධනය කරන්න උපකාරී වෙනවා. ලෙමන් පෙත්තකින් ඇහිබැම මිනිත්තු 15-20 ක් පමණ හොඳින් අතුල්ලා සිසිල් ජලයෙන් සෝදා හරින්නත් පුළුවන්.
5. හොඳින් සම්බාහනය

පිරිසිදු මස්කාරා බුරුසුවක් භාවිතා කරමින් ඔබේ ඇහි බැම ඉහළට සහ පහළට හොඳින් සම්බාහනය කරන්න. ඉන්පසු ඔබේ ඇඟිලිවලින් සීරුවෙන් දෙපසට සම්බාහනය කරගෙන යන්න. ඉන්පසු වක්‍ර ආකාරයට සම්බාහනය කරන්න. මෙසේ සම්බාහනය කිරීමෙන් රුධිර සංසරණය වැඩිවීම නිසා හිසරදය හා ඇස්වල වේදනාවත් සුව වෙනවා.