latest articles

උදේට නැගිටපු ගමන් හිස්බඩ කන්න බොන්න හොඳ නැති ආහාර පාන වර්ග කිහිපයක්

ඔබ උදෑසන බොන්න කැමති මොනවාද කියලා ඇහුවොත් විවිධ පිළිතුරු තියෙයි. කෙනෙක් කැමති කිරි බොන්න. තව කෙනෙක් කැමති තේ බොන්න, කෝපි, කොළ කැඳ එහෙම නැත්නම් වෙනත් කෑමක් කන්න. මේ මොනවා කෑවත් බිව්වත් එමඟින් ඔබේ සිරුරට මොනවගේ බලපෑමක් ඇති වෙනවාදැයි ඔබ මොහොතකටවත් සිතුවාද. ඔබ මෙලෙස උදෑසනම බීමට ප්‍රිය කරන ඇතැම් කෑම, බීම වර්ග ඔබේ සිරුරට කරන අහිතකර බලපෑම් ගැනයි මේ සටහන.

1.පළතුරු යුෂ

උදෑසන හිස්බඩ පළතුරු යුෂ වීදුරුවක් පානය කිරීම සෞඛ්‍යට හිතකර යැයි බොහෝ දෙනා සිතුවත් එය එසේ වන්නේ නැහැ. බොහෝමයක් පළතුරු වල ෆ්රුට්පර්ස් බහුලව ඇති අතර ඒවා සීනි වලට සමානයි. මීට අමතරව පළතුරු යුෂ පිළියෙළ කිරීමේදී ඒවායේ රසය වැඩි කිරීමට ද අමතර සීනි ප්‍රමාණයක් එක් කරන නිසා උදෑසන හිස්බඩ මේවා පානය කළ විට ඒවායේ අඩංගු අධික සීනි හේතුවෙන් අග්න්‍යාශය මෙන්ම අක්මාවටත් අමතර පීඩනයක් එල්ල වෙනවා. මේ හේතුවෙන් දිගු කාලීනව අක්මාවේ සහ අග්න්‍යාශයේ අසාධන තත්වයන් පවා ඇතිවිය හැකියි.

2.කැෆේන් අඩංගු පාන වර්ග

තේ කෝපි වැනි කැෆේන් අඩංගු පාන වර්ග උදෑසන හිස්බඩ පානය කිරීම මඟින් ආම්ලිකතාවය වැඩිවිය හැකියි. මේ හේතුවෙන් ආහාර ජීරණය අක්‍රමවත් වීමත් ගැස්රයිටිස් තත්වයන් වර්ධනය වීමත් සිදුවිය හැකියි.

3.අමු එළවලු

විශේෂයෙන් ආහාර පාලනය කිරීමට උනන්දු වන බොහෝ දෙනා නොපිසින ලද එළවලු වලින් සාදාගත් සලාද වර්ග අනුභවයට හුරුවී තිබෙනවා. මේවා පෝෂණ ගුණයෙන් ඉහළ වුණත් උදෑසන හිස්බඩ ආහාර ගැනීම නම් එතරම් සුදුසු වන්නේ නැහැ. මේවයේ තන්තු බහුලව අඩංගු වන නිසා ඒවා මඟින් උදරයට අමතර පීඩනයක් ඇති කරන අතර මේ හේතුවෙන් බඩ පිපුම සහ උදරයේ වේදනා තත්වයන් ඇතිවිය හැකියි.

4.පැඟිරි කුලයේ පළතුරු

දොඩම්, ලෙමන්, දෙහි වැනි පැඟිරි කුලයේ පළතුරු පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ වුණත් උදෑසන හිස්බඩ ආහාරයට ගැනීම නම් එතරම් සුදුසු ක්‍රියාවක් නොවෙයි. මේවා මඟින් උදරයේ ආම්ලිකතාවය ඉහළ යා හැකි අතර ආහාර ජීරණය ආශ්‍රිත ගැටළුද ඇතිවිය හැකියි.

5.පැණිබීම වර්ග

කෝලා වර්ග, සෝඩා වර්ග සහ ශක්තිජනක පාන වර්ග පානය කිරීම සෑම විටම සිරුරට අහිතකර වන අතර උදෑසන හිස්බඩ පානය කිරීම මඟින් වඩාත් අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකියි. මේවා මඟින් උදරයේ ආම්ලිකතාවය ඉහළ දමන අතර උදරයේ වේදනාවන් සහ ඔක්කාරය තත්වයන් පවා ඇතිවිය හැකියි.