latest articles

ආදරණීය ශක්තිමත් අඹුසැමි යුවලක් හදුනගන්න ලක්ශණ

ජීවිතේ මොන තරම් ජයග්‍රහණ ලැබුනත් විවාහය අසාර්ථක නම් එම යුවල ඒ පිලිබදව ගොඩාක් දුක් වෙනව අපිට දකින්න පුළුවන්. පවුල කියන සංකල්පය සමාජයේ කුඩාම ඒකකය උනත් පවුල් බැදීම බිදී යාම ඉහල මට්ටමක පවතින සමාජයක්, සතුටු සහ සාර්ථක සමාජයක් වෙන්නෙ නෑ. ලෝකය ඉදිරියට ගමන් කරද්දී කාලෙන් කාලෙට පවුලක සාර්ථක භාවය මනින ආකාරය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් කොහොමද ඔබ දෙදෙනා සාර්ථක සතුටු අඹුසැමි යුවලක්ද කියල අදුරගන්නෙ. බලන්න මේ ලක්ශණ ඔය දෙන්නගෙත් තියනවද කියල..

එකිනෙකාට ගරු කිරීම

මෙය යුවලක් අතර බැදීමේ ශක්තිමත්ම පදනමයි. මෙහිදි ගරු කිරීම යනු උදේ හවා බිම පෙරලී වන්දනාමාන කිරීම නොවන අතර එකිනෙකාගේ අදහස්, රුචි අරුචින්, සිහින ඉලක්ක, මෙන්ම අඩුපාඩු ඉදිරියේද අනිකාව පහත් නොකර තමන්ගෙ අදහස පමණක් ක්‍රියාත්මක නොකර දෙදෙනාගේම අදහස් අනුව ජීවිතය පවත්වා ගැනීමයි.

එයාගෙ සල්ලි මගේ සල්ලි

යුවලක් විදියට ජීවත් වෙද්දි මූල්‍ය සහයෝගිතාව අනිවාර්යයෙන් පවත්වා ගත යුතුයි. සාධාරණ හේතුවක් මත එක් අයෙක් ඉපයීම් නොකලත් ඒ නොකරන කෙනාට අඩු තක්සේරුවක්, අඩු අගයක් නොදී ලැබෙන ආදායම් දෙදෙනාටම අයිති බව සැලකීම ශක්තිමත් යුවලකගෙ ලක්ශණයකි. දෙදෙනාම ඉපයීම් කලත් ඒ මුදල පවුලට අයත් මිස මගේ හෝ එයාගේ ලෙස සැලකීම දුර්වල බැදීමක ලකුණකි.

අපේ ගෙදර වැඩ

බිරිදට උදව් කරන සැමියෙක් යහපත් කියල ඔබ හිතනවද? නෑ ඇත්තෙන්ම එය වැරදි අදහසක්. ගෙදර වැඩ බිරිදට පමණක් අයිති බවත්, සැමියා ඇයට ඉටු කර දෙන වැඩ උදව් බවත් සිතීම වරදක්. නිවසේ වැඩ කිරීම දෙදෙනාගේම වගකීමක්. එක් අයෙකුට පමණක් වැඩ පැටවුණු නිවසක සතුටු යුවලකට වාසය කරන්න බැහැ.

අපි දෙන්නට අපි දෙන්නා

ඔබට දෙමාපියන් සහෝදරයයන් කී දෙනෙක් හිටියත් විවාහයෙන් පසුව ඔබේ පවුල වන්නේ ඔබේ සහකරු හෝ සහකාරිය සහ දරුවන් අයත් ඒකකයයි. ඔබ දෙපල නිතරම අන් අය ඉදිරියේ තනි ඒකකයක් ලෙස පෙනී සිටිනවා නම් එය ඉතා ශක්තිමත් බැදීමක ලක්ශණයකි. විශේෂයෙන් සමාජයෙන් පවුලේ ඥාතීන් ගෙන් ඔබේ සහකරුට සහකාරියට තර්ජනයක් එල්ල වෙන මොහොතේ ඔහු හෝ ඇය සමග එක්ව එකට මුහුණ දීම ඔබේ බැදීම ඉතා ශක්තිමත් බවට සාක්ශියකි.

දෙන්නගෙ රහස්

ඔබ යුවල තනිව පදිංචි වී සිටියත්, දෙමාපියන් සමග හවුලේ පදිංචි වී සිටියත් ඔබ දෙපල පමණක් දන්නා වෙනම ලොවක් ඔබට තිබිය යුතුයි. ඔබ දෙපල පමණක් දන්නා ඉදිරි බලාපොරොත්තු, සැලසුම් ශක්තිමත් බැදීමක ලක්ශණයකි. හැකි සෑම විටකම අන් අයගෙන් හුදකලාව ඔබ දෙපල පමණක් ආදරයෙන් ගත කරන හෝරා, දෙන්නා විතරක් යන ගමන් බිමන් ඔබේ බැදීම තවත් සුන්දර කරයි.

අපේ දියුණුව

යුවලක් සාර්ථක ශක්තිමත් බැදීමක් පවත්වාගැනීමේදී දෙදෙනාටම පොදු ඉදිරි ඉලක්ක සිහින සැලසුම් තිබීම සහ ඒ වෙනුවෙන් එක්ව වෙහෙස වීම අනිවාර්යයෙන් සිදු කල යුතුයි. දෙදෙනාගේ සිහින වෙන් වෙන් වශයෙන් දුටුවත් එහි අවසන් අරමුණ යුවලක් ලෙස භුක්ති විදීමට සිහින දකිනවා නම් ඔබ දෙපල ඉතා ශක්තිමත් ලෙස බැදී සිටින බව දත යුතුයි.

අපේ ආදරේ

ඒක ලෝකෙ තියන ලස්සනම වචනේ. මොන දේ තිබුනත් අනිකා වෙනුවෙන් හද පතුලෙන් නැගෙන කොන්දේසි විරහිත ආදරේ තරම් බැදීමක් තවත් නෑ. ඒ ආදරේ පදනම විශ්වාසය වන අතර හැකි සෑම විටම අනෙකා කෙරෙහි ආදරය ප්‍රකාශ කිරීම බැදීම ශක්තිමත් කරයි.