latest articles

අකලට පැසුණු හිසකෙස් ස්වාභාවිකවම කළු කිරීම සඳහා සත්කාර​​ 2 ක්

ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව අපි හැමෝම ආසයි කොණ්ඩය ලස්සනට තියන් ඉන්න. නමුත්  වර්තමානයේ තරුණ පරම්පරාවේ  අයට ලස්සන කොණ්ඩයක් පවත්වාගැනීම හීනයක් පමණයි. එයට හේතුව ගොඩක් අයගේ කොණ්ඩය දුර්වල වීම හා පෝෂණය අඩුවීම නිසා හිස්කෙස් ගැලවී යාමයි. විශේෂයෙන්ම අකලට කොණ්ඩය සුදුවීම කියන තත්ත්වයත් තරුණ තරුණියන් අතර දැන් සුලභව දක්නට ලැබෙනවා. නමුත් මේ විදියට අකලට පැසුණු හිසකෙස් ස්වාභාවිකවම නැවත කාල වර්ණයට හරවා ගන්න පුළුවන්. ඒ නිසා කොණ්ඩෙට කෘතිම දේවල් භාවිතා නොකර අද අපි මේ ලිපියෙන් සඳහන් කරන සත්කාර බොහොම ඉවසීමෙන් උත්සාහ කරලා බලන්න.

1.ළූණු

මේ සඳහා සාමාන්‍ය ප්‍රමාණයේ ළූණු ගෙඩියක් අරගෙන ඉතාම කුඩා කැබලිවලට කපා බ්ලෙන්ඩරයක් ආධාරයෙන් මුලින්ම අඹරා ගත යුතුයි. ඉන්පසු පෙරණයක් ආධාරයෙන් ළූණු යුෂ පමණක් වෙන් කරවාගෙන එම යුෂ හිස් කබලේ ආලේප කර විනාඩි 5ක් පමණ හොඳින් සම්බාහනය කරන්න. සම්බාහනය සිදු කිරීමේදී තදින් සිදු සිදු කරන්නේ නැතුව බොහොම මෘදු ලෙසයි සිදු කරගන්න ඕන.

මෙලෙස සම්බාහනය අවසන් කර විනාඩි  තිහක් පමණ තිබෙන්නට හැර බේබි ෂැම්පු වර්ගයක් භාවිතා කර හිස පිරිසිදු කරගන්න. ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා අවම වශයෙන් සතියට දින තුනක්වත් මෙම  සත්කාරය සිදු කළ යුතුයි.

2.කරපිංචා

අකලට පැසුණු හිසකෙස් නැවත කළු පැහැ කරගැනීමට කරපිංචා කොළ වලින් ලබා ගන්නා යුෂ පානය කිරීම හෝ කොළ කැඳ හෝ සලාද ලෙස සකසා ආහාරයට ගැනීමද සුදුසු වෙනවා. එමෙන්ම කරපිංචා කොළවල ඉස්ම මොරු සමඟ මිශ්‍ර කර පානය කිරීමෙන්ද කෙස් වර්ධනය වේගවත් කරගෙන යළි කාල වර්ණ පැහැ ලබාගැනීමටත් පුළුවන් වෙනවා. ඒ වගේම හිස්කෙස් කළු කළ හැකි හිස ආලේපනයක්ද කරපිංචා වලින් සකස් කර ගන්න පුළුවන්.

ඒ සඳහා කරපිංචා කිනිති 5ක පමණ කොළ ප්‍රමාණයක් හා උලුහාල් හැන්දක් පමණ කබලෙ බැඳගෙන ඉන්පසුව බ්ලෙන්ඩරයක දමා  කුඩුකරගෙන  ඒවා  පොල්තෙල් සමග මදගින්නේ විනාඩි පහක්  පමණ රත්කරගෙන  විනාඩි කිහිපයක් සිසිල් වීමෙන් පසුව හිස් කබලේ ආලේප කර විනාඩි 5ක් පමණ සම්භාහනය කරන්න. පැය භාගයක් පමණ හිස මත තිබෙන්නට හැර සෝදා හරින්න. මේ සත්කාරය ඔබට දිනපතාම සිදු කළ හැකියි.